Labels

Sunday, November 19, 2017

මරණානුස්සති භාවනාව

තථාගත බුදු පියාණන් වහන්සේගේ දේශනාවන්හි මරණානුස්සති භාවනාව පිළිබඳ ව හසළ දැනුමක් ලැබිය හැකි යි. යම් අවමඟුලකට සහභාගිවන ඔබ ඒ මෘත දේහය දෙස නිකරුණේ නො බලන්න. ඒ මෘත ශරීරයට සිදු වූ දෙය මටත් සිදු වන බව සිතාගෙන ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යනුවෙන් මරණානුස්සති භාවනාව වඩන්න. මේ ශරීරය අනිත්‍යය යි , දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් එහිදී ම මෙනෙහි කරන්න. ජීවිතය අස්ථිර බව , මරණය ස්ථිර බව තේරුම් ගන්නට සමත් නුවණක් ලැබුණොත් එය තමන් ලද භාග්‍යයක් වෙයි.

බොහෝ දෙනෙක් මරණයට බිය වෙති. පින්කම්, දාන, ශීල, භාවනාවෙන් සිතේ දියුණුව සලසා ගන්මෝ මරණයට නො බියව මුහුණ දෙති. කෙදිනක හෝ ජීවිතයේ අවසන් ගමන යන්නෝ නිදහස් ව මරණයට සූදානම් ව වාසය කළ යුතු යි. ඇලීම්, ගැටීම් තබාගෙන අවසන් ගමන සුගතිගාමී විය නො හැකි යි. අසල්වාසීන් සමඟ හොඳින් ජීවත් විය යුතු යි. ඉඩකඩම්, යාන වාහන, ගේ දොර ඉඩකඩම් සැවොම ‘මගේ’ යැ’යි උපාදාන වශයෙන් අල්ලා නො ගෙන ඒවා තමන්ගේ පහසුවට පමණක් පරිහරණය කළ යුතුයි.

යමක් “මගෙයි” යනුවෙන් බලවත් ලෙස අල්ලා ගැනීම භයානක වෙයි. පසුගිය දිනක එක්තරා උපාසිකාවක් මිය ගියා. මිය ගිය ඇය නමින් යමෙකුට ආරූඪ වී තමන් ජීවත් ව සිටියදී පැරැණි තහඩු පෙට්ටියක තැබූ වටිනා මාලය සෙව්වා. මේක මගෙයි යනුවෙන් ඒ පෙට්ටිය ඇය විවර කළ ද එහි මාලය තිබී නැහැ. මේ අනුව ඇයගේ අවසන් සිතේ මතකයට නැඟෙන්නට ඇත්තේ තමන්ගේ වටිනා මාලය ගැන විය හැකියි. එය ම අවාසනාවට හේතු වුවාද? පෙර භවයේ යහපත් මනුස්ස ජීවිතයක් ලබා ගත් ඇය පසු භවයේ අමනුෂ්‍ය ජීවිතයකට පත් වුණා ද? ඒ නිසා සියලු ම දේ සම්බන්ධයෙන් ඇලීමක් තබා නො ගත යුතු යි. ‘මගෙයි’ යනුවෙන් අල්ලා ගැනීමෙන් බලවත් තෘෂ්ණාව හට ගන්නා නිසා තමන්ගේ ඊළඟ භවය ද අවාසනාවන්ත වෙයි.

මරණය ගැන නිබඳව ම සිහිපත් කළ යුතු යි. ආහාර අනුභව කරනවිට දී, මඟ තොට යන එනවිට දී, ස්නානය කරද්දී, නින්දේ දී කෙලෙසක, කුමන මොහොතක, කොතැනක හෝ මරණයට පත්වන බව සිතිය යුතු යි. උපන්නේ කොතැන ද, නමුත් මරණයට පත් වන්නේ තවත් තැනක යි. එලෙස කල්පනාවෙන් තම දිවිය ද මරණයට පත්වන බව සිතන්න.
එක්තරා බමුණෙක් නොඉඳුල් ජීවිතයක් ගත කළා. මේ තැනැත්තා තම පුතණුවන් සමඟ තමා මිය ගිය පසුව ඒ මෘත ශරීර වළදමන්න සුදුසු ස්ථානයක් සොයා බලන්න ගියා. ඔහුට අවශ්‍ය වුණේ කිසිවෙකු වළලපු නැති පිවිතුරු ස්ථානයක්. ඒ සඳහා ඔහු ගිජ්ජකූඨ පර්වතය අසළ ඇති සුවිසල් ගසක් දැක, ඒ ගස ඉවත්කර තම මෘත ශරීරය එහි තැන්පත් කරන්නැ’යි තම පුතුට උපදෙස් ලබා දුන්නා.
මේ පුවත දැනගත් බුදුන් වහන්සේ කන්ද පාමුල ගසක් ළඟ වැඩ සිටිමින් බමුණාගෙන් මෙසේ විමසුවා. බ්‍රාහ්මණය, මේ යන්නේ කොහේද? ස්වාමීනි, මා නොඉඳුල් මිනිසෙක්. ඒ නිසා මාගේ මෘත ශරීරය තවත් කෙනෙක් වළලපු නැති තැනක දැමිය යුතු යි. එහි දී බුදුන් වහන්සේ, බ්‍රාහ්මණය ඔබ ඔය කන්දට පිවිසියේ සසර පුරුද්දකට යි. ඔබගේ මෘත ශරීරය ඔතැන පමණක් සසර භවයන්හි දාහතර දහස් වාරයක් තැන්පත් කර තිබෙනවා. එසේනම්, මේ ලෝකයේ බිම් අඟලකවත් කෙනෙකුගේ මෘත ශරීරයක් වළලපු නැති තැනක් සොයා ගන්නට බැහැ. නමුත්, ඔබ ජීවිතය අනියත බව මරණය ස්ථිර බව වටහා ගත් බව හොඳ යි. එහෙත්, තම මෘත ශරීරය තැන්පත් කරන්න සුදුසු ස්ථානය මෙතැන යැ’යි ඔබට තීරණයක් ගන්නට බැහැ. මෙසේ බුදුන් වහන්සේ පහදා දුන් කරුණු වලින් බ්‍රාහ්මණයා විශ්මයට පත් වුණා.
එලෙස ම බුදුන් වහන්සේ බෝධි සම්භාර පුරන සමයේ එක්තරා බ්‍රාහ්මණ නිවසක උපත ලැබුවා. ඒ අය නිබඳව ම වඩන්නේ මරණානුස්සති භාවනාව යි. ඔවුන්ට කිසිවක් ගැන කිසිවිටකත් ඇලීමක් නැහැ. මව් පියන් සහ සේවිකාවන් සමඟින් නිවසේ පුතු ද සසරේ පුරුද්දට මරණානුස්සති භාවනාව වැඩුවා. එක් දවසක් පියා සමඟ කුඹුරට ගිය පුතාට නාගයෙක් දෂ්ඨ කර එතැනම මරණයට පත් වුණා. ඒ නිසා පියා නිවසට පණිවුඩයක් යවා දර ටිකක් සහ එක කෑම පිඟානක් රැගෙන එන ලෙස දැන්වූවා. නිවසේ අයත්, පියා හෝ පුතා මළ බවට තීරණය කළා. ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ යනුවෙන් ඒ අය ඒ මොහොතේ සිට ම මරණානුස්සති භාවනාව වැඩුවා. නිවැසියෝ දිවා ආහාරයත්, ගින්දරත් රැගෙන පැමිණියා. තම ආදරණීය පුතුගේ මෘත දේහය නියරක් මත තබා තිබෙනු ඒ අය දුටුවා. එහෙත් අඬා දොඩා වැළපුණේ නැහැ. පියා බත් පත කා අවසන් වී දර ටික ගොඩ ගසා දේහය ගිනි තැබුවා. මරණානුස්සති භාවනා මෙනෙහි කළ පුතා මිය ගිය පසුව නැවත උපත ලැබුවේ දෙව් ලොව යි. ඔහු ද දෙව්ලොව සිට ම මේ දේහය ගිනි තබන ස්ථානයට පැමිණ මෙසේ විමසුවා. කුමක්ද, ඔබ දවාලන්නේ? අපේ මිය ගිය දරුවා ආදාහනය කරනවා. ඔබේ දරුවා ගැන තැකීමක් නැත්තේ ඔහු වෛරක්කාරයෙක් ද? තරහා කරුවෙක් ද? දෙවියා ඇසුවා. නැත, මොහු අපේ ප්‍රිය මනාප දරුවා වෙයි. එහෙත්, අඬා දොඩා වැළපෙන්නේ නැත්තේ අප කවුරුත් මරණානුස්සති භාවනාව වඩන සවිය නිස යි. ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ අපත් කවදා කොතැනක හෝ මිය යනවා. මේ තැනැත්තත් මිය ගියා යනුවෙන් සිතා, සිත සකසා ගත් බව පැවසුවා. එවිට දේවතාවා, බොහොම හොඳයි, ඔය ඇත්තන් බොහොම දියුණු පිරිසක්. මෙවැනි පිරිසක් සොයාගන්න ලෙහෙසි පහසු නැහැ. මම ඔබලාගේ පෙර භවයේ පුතා වෙමි. මරණානුස්සති භාවනාව වැඩු මා දැන් වාසය කරන්නේ දෙව් ලොව යි. ඔබගේ නිවසේ අඩුපාඩු පුරවා තිබෙනවා. මින් මතු කුඹුරු වැඩ නො කර හොඳින් ජීවත් වෙන්නැ’යි පෙර භවයේ තම මව් පියන්ට ආශිර්වාද කළ දේවතාවා නැවත දෙව් ලොවට ම වැඩම කළා.

මේ අනුව මරණානුස්සති භාවනාවේ අගය පෙනෙනවා නේද? තම දිවි මඟ වාසනාවන්තව, ආලෝකවත් කර ගන්නට මරණානුස්සති භාවනාව සමත් වෙයි. කුමන දෙයකින්වත් කරදර, බාධක, නැති තත්ත්වයකට පත් වන්නට පුළුවන්. ලොවුතුරා බුදු දහම අපේ ජීවිතයට ලැබුණේ කලාතුරකින් බව කල්පනා කර සතර ඉරියව්වෙන් ම මරණානුස්සති භාවනාව වඩන්න.


අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ආරණ්‍ය සේනාසනයේ 
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 10 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment