Labels

Monday, November 20, 2017

සසර සැඩපහර තරණයට... ( ආර්ය පර්යේෂණ සූත්‍රය )


මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් ආර්ය පර්යේෂණ සූත්‍ර දේශනාවේ සඳහන් ධර්ම අදහස අපි තවදුරටත් පැහැදිලි කරගනිමු. සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට මත්තෙන්, එනම් බෝධිසත්ව අවධියේ දී මම ද සියලු සත්ත්වයන් සේ ම සැප සොයාගෙන ගමන් කළෙමි. මේ ලෝකයේ සියලු සත්ත්වයෝ ම දුකට වේදනාවට අකැමැති ය. සැනසිල්ලම. සැපතම සොයාගෙන යන්මෝ ය.

මම ද එලෙස දුකින් අත්මිදී, සැප සොයාගෙන යන ගමනේ ජාති ධර්මයන්ට උරුමවූවා නම්, එනම් ඉපදුණා නම් ඒ සෑම තැනකම පවතින්නේ විනාශයයි. නැතිව යාමයි. ඒ ස්වභාවයේ සිටිමින් ම එවැනි ජාති ධර්මයක් ම මම සොයා ගියෙමි. කුමක් වෙනුවෙන් ද? සැපය පිණිස ය.

මෙහි ගැඹුරු අදහස කුමක් ද? එය තමන් ද කරදරයක වැටී, තවත් කරදරයක වැටුණු පුද්ගලයකුගෙන් උදව්වක් උපකාරයක් ඉල්ලනවා හා සමානය.
දිරාගෙන යන, ලෙඩ දුක්වලට, මරණයට පත්වෙන මම එයින් නිදහස් වීම හෝ සැනසිල්ලක් හෝ සොයන්නේ, ඉල්ලන්නේ කාගෙන් ද? එවැනි ම දිරාගෙන යන, ලෙඩදුක්වලට පත්ව මරණයට උරුමකම් කියන පුද්ගලයෙකුගෙන්මය. ඒ අයට එලෙස උදව්වක් කරන්නට පුළුවන්කමක් නැත. සාමාන්‍ය ලෝකයා පවසන්නේ අපි දෙදෙනා ම හෝ අපි දෙපිරිස ම එකම ආකාරයක දුකකට පත් ව සිටින බවයි. එනම් දෙදෙනා ම ගැඹුරු වලකට වැටි දුක්විඳින ගමනේ ඒ ගැඹුරු වලෙහි ම දුක්විඳිමින් අනෙකාගෙන් උපකාරයක් ඉල්ලුවාට දෙදෙනාට ම දෙදෙනාට උපකාරයක් වෙන්නට නොහැකි ය. දෙදෙනාම අසරණය. එමෙන් ම තමන් ද ඉපදුණාට පසුව ලෙඩ දුක්වලට, දිරාගෙන යෑමට, මරණයට උරුමකම් කියමින් සිටිය දී එසේ ම උරුමකම් කියන අයගෙන් දුකෙන් නිදහස්වෙන්නට උපකාර ඉල්ලුවාට එයින් පිහිටක් ලබන්නට නොහැකි ය. එසේ නම්, සැප සැප යැයි කියමින් දුකෙන් නිදහස් වෙන්නට යැයි සිතා, සතුට කියා සෙව්වේ මොනවා ද?. අවසානයේ නතර වුණේ දිරාගෙන යෑම, ලෙඩ දුක් ළඟ, මරණය ළඟමය. කිසිම සැනසිල්ලක් ලැබුණේ නැත. අවසානයේ ඉතිරි වුණේ දුක්ඛ දෝමනස්ස පමණි.
මෙම ධර්ම කරුණ තවදුරටත් පැහැදිලි කර ගනිමු. ‘කුඩා කාලයේ බොහෝ කෙනෙක් තරුණ වයසට පත්වෙන්නට කැමැති ය. තරුණ වයසට පත් වූ පසු ඊළඟට කුමක් ද පැමිණෙන්නේ දිරාගෙන යාමයි. “හා යොබ්බනා ජරා අන්තා” – හැම තරුණකමක ම, දිරාගෙන යෑම දකින්නට ලැබෙනවා. බොහෝ කෙනෙක් ඔවුනොවුන් මුණ ගැසී එකට එකතුව සතුටු වෙන්න කැමැතියි. එහෙත් අවසානයේ සිදු වන්නේ කුමක් ද?. “හා පියා සෝක අන්තකා” – හැම ප්‍රේමයක ම ශෝකයක් පවතී. “හා මතන්තා සජීවකා” – හැම එකතුවීමක ම වෙන්වීමක් පවතී.
එසේ නම් සතුට කියා සොයාගෙන ගොස් අප සිතෙන් අල්ලාගෙන තියෙන්නෙ කුමක් ද? ශෝකයක්, පරිදේවයක්, දුක්ඛ දෝමනස්සයක් ම නොවේ ද? මනුෂ්‍යයෝ තවත් පිරිසක් සමඟ එකට එකතුව ජීවත්වෙන්නට කැමැතිය. මරණයට අකැමැතිය. බොහෝ කෙනෙක් මරණයට බිය වන්නේ ය. එවැනි පිරිසක් තවත් පිරිසක් සමඟ සතුට වෙනුවෙන් එකතුවෙති. එහෙත් මේ එක්වීම කා සමඟ ද?
තමන් වගේ ම මරණයට බිය, ජීවත්වෙන්නට කැමැති පිරිසක් හා සමඟ ය. සතුටක් සොයා යන්නට පෙළඹුණාට අවසානයේ සැබෑ සතුටක් ලැබෙන්නෙ නැත. එයට හේතුව උපත හා සමගින් ම පසුපසින් එන දිරාගෙන යෑම, ලෙඩදුක්, මරණය යන සියලු දෙනාට ම උරුම වූ පොදු ස්වභාවයක් පවතින නිසා ය.
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලැබූයේ, බුදුවීමට පෙර එනම් බෝධිසත්ව අවධියේදීත් මේ ආකාරයට තමනුත් දිරාගෙන යමින් ලෙඩ දුක්වලට පත්වෙමින්, මරණයට උරුමකම් කියමින් අවසානයේ සොයමින් සිටියෙත් දිරාගෙන යන ලෙඩදුක්වලට පත්වෙන උරුම වූ වස්තූන්ම ය. එය වැරැදි පර්යේෂණයක් බව උන්වහන්සේ අවබෝධ කරගත්හ. එයින් සිදු වූයේ තවදුරටත් සසර දීර්ඝවීමය. දුකින් නිදහස්වීම වෙනුවට දුක තවදුරටත් එකතුවීමකි. දීර්ඝ වීමකි. එනම් එකතු කර ගත්තේ, රැස් කර ගත්තේ කර්මයි.
“මහණෙනි, මට මේ අදහසත් ඇති වුණා ඒ කුමක් ද? කුමක් නිසා මම ජාති ජරා වූයෙම් ද?, ජාති ධර්මයක් ම සොයම් ද?. තෙමේ ජරා ධර්ම වූයෙන් ජරා ධර්මයක් ම සොයම් ද? තෙමේ ව්‍යාධි ධර්ම වූයෙන් ව්‍යාධි ධර්මයක් ම සොයම් ද? තෙමේ මරණ ධර්ම වූයෙන් මරණ ධර්මයක් ම සොයම් ද? තෙමේ ශෝක ධර්ම වූයෙම්. ශෝක ධර්මයක් ම සොයම් ද? තෙමේ සංකේලේශ ධර්ම වූයෙම්. සංක්ලේශ ධර්මයක් ම සොයම් ද? මම ජාති ධර්ම වූයෙම් ජාති ධර්මයේ ආදීනව දැන ජාතියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නේ නම් මැනව. මට ඒ ආදී වශයෙන් සිතිණ. ජරා ධර්ම වූයෙම්, ජරා ධර්මයේ ආදීනව දැන ජරාවක් හෙවත් දිරාගෙනයෑමක් නැති ඉතා උතුම් වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නේ නම් මැනව. මට එසේ සිතුණි යැයි භාග්‍යවතුන් වහන්සේ නැවත දේශනා කළහ.
තෙමේ ව්‍යාධි ධර්ම වූයේ ව්‍යාධි ධර්මයේ ආදීනව දැන ව්‍යාධියක් නැති ඉතා උතුම් වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නේ නම් මැනව. මට එසේ කල්පනා වුණි. තෙමේ මරණ ධර්ම වූයෙම්. මරණ ධර්මයේ ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නේ නම් මැනවි. මට එසේ සිතුණි.
තෙමේ ශෝක ධර්ම වූයෙම්, ශෝක ධර්මයේ ආදීනව දැන ශෝකයක් නැති ඉතා උතුම් වූ යෝගක්ෂේම වූ නිවනෙහි ආදීනව දැන ශෝකයක් නැති ඉතා උතුම් වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නේ නම් මැනවි. මම එසේ ම කල්්පනා කළෙමි. තෙමේ කෙලෙස් ධර්මවලින් යුක්ත වූයෙම්. කෙලෙස් ධර්මයන් හි ආදීනව දැන කෙලෙස්වලින් පීඩා නොවූ ඉතා උතුම් වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නේ නම් මැනවයි. මෙසේ කල්පනා වුණි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මෙම දහම් පෙළ අපි නැවතත් විවරණය කර ගනිමු. භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවධියේ දී මෙසේ කල්පනා කළ බව සඳහන් කරති. ඒ කුමක් ද? මම ම සිතන්න පටන් ගත්තෙමි, මම ජාති ධර්ම වූයෙම්, එනම් ඉපදීම උරුම කොට ඇතිව, ඉපදීම උරුමකොට ඇති වස්තූම සොයන්න හේතුව කුමක් ද? මම මේ කරන ක්‍රියාවේ තේරුම කුමක් ද? යන්නයි. ඒ ලෙසම යම් කෙනෙක් ජරා ධර්මයන්ට උරුමකම් කියමින්, ජරා ධර්මයන්ට ම පත්වෙන පුද්ගලයන් හෝ වස්තූන් සොයන්නට හේතුව කුමක් ද? ව්‍යාධි ධර්මයන්ට උරුමකම් කියමින් ව්‍යාධි ධර්මයන් ම උරුමකම් කියන පුද්ගලයන් හෝ වස්තූන් සතුට කියා සැනසිල්ල කියා සොයන්නෙ කුමක් නිසා ද? තමන් මරණ ධර්මයන්ට උරුමකම් කියමින්, මරණ ධර්මයන්ට උරුමකම් කියන වස්තූන් ම සොයන්නේ කුමක් නිසා ද?
තමා ශෝක ධර්මයන්ගෙන් යුක්ත වුයෙන් ශෝක ධර්මයක්ම සොයන්නෙ කුමක් නිසා ද? තමා කෙලෙස් ධර්මයන්ගෙන් එකතුව සිටින්නේ ඒ කෙලෙස් ධර්මයන්ගෙන් එකතු වූ යමක් ම සොයන්නෙ කුමක් නිසා ද? එසේ නැතිනම් ඒ කෙලෙස් ධර්මයන් ම සොයන්නේ කුමක් නිසා ද? මට මේ ආකාරයට වැටහෙන්නට විය. මම මේ ආකාරයට ආර්ය පර්යේෂණයෙන් තේරුම් ගත්තෙමි. ඒ කුමක් ද? මම ජාති ධර්ම වූයෙම්, එනම් මම මේ ඉපදීම හා සමඟින් දුක්ඛ, දෝමනස්ස සාදාගෙන තිබේ නම් මේ ජාති ධර්මයේ ආදීනවය දැන ගත යුතුයි.
එනම් මේ ඉපදීම නිසා ඇති වූ දුක්ඛ, දෝමනස්ස ආදී අනේක විධ දුක් තේරුම් ගත යුතුයි. දැනගත යුතුයි. එසේ දැනගෙන ජාතියක් නැති, සතර අපායත් ඇතුළුකොට ඇති ඉපදීමක් නැති ඉතා උතුම් වූ යෝගක්ෂේම වූ එනම් කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිඡ්ජා ඕඝ ය. ඕඝ නම් රළ පහරයි.
එනම් ඒ සතර ඹ්ඝයන් නොමැති යෝගක්ෂේම එනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ නැති නිවන සොයන්නේ නම් මැනවයි, මා කල්පනා කළෙමි. එසේ නම් මම ඉපදීම උරුම කොටගෙන දැන් සිටින්නේ ඒ ඉපදීමේ පවතින ආදීනවය මැනවින් තේරුම් අරගෙන ඉපදීමක් නැති ඉතා උතුම් වූ කාම, භව, දිට්ඨි ඕඝ යන ඕඝයන්ගෙන් බැහැරවන ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් නිදහස්වෙන නිවනම සොයන්නෙමි. එසේ සෙවිය හැකි නම් අගනේයි.


බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 10 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment