මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Saturday, August 22, 2015
සිතේ සැනසිල්ලට ශෝකය බාධාවකි
සිතෙහි ශෝකයක් හටගත් විට කොපමණ නම් අඳුරු ස්‌වභාවයක් සිතෙහි හටගන්නේදැයි බොහෝ අයකුට ජීවිතයේ අත්දැකීම් ඇත. වරෙක එම අඳුරු ස්‌වභාවය විසින් ඔබගේ සිතෙහි තනිකම, පාළුව, එපාවීම, කළකිරීම, කිසිවක් කෙරේ උනන්දුවක් නැති බව ආදී දුර්වල සිතුවිලි ඇතිකරනවා ඇත. මෙය තරහව මුල් කොටගත් සිතුවිල්ලකි. මේ නිසා තරහව අකුසලයක් බැවින් ශෝකය අකුසල් රැස්‌වීමටද හේතුවෙනවා ඇත. සිතේ ශෝකයක් නැති බව උතුම් මංගල කරුණක් වන්නේ එබැවිනි.
මංගල සූත්‍රයෙහි සඳහන් මංගල කරුණු අතර තිස්‌හය වැනි මංගල කරුණ වන්නේ 'අසෝකං' හෙවත් ශෝක නැති සිත් ඇති බව ජීවිතයකට යහපතක් බවය. ශෝකය ඇතිවන්නේ කුමක් නිසාද? තමා මුල්කරගත් 'ආත්මායනය' හෙවත් 'මමය, මාගේය' නම් වූ දැඩි වූ සිතුවිල්ල හෝ සිතුවිලි නිතරම ප්‍රියවූ අරමුණු තමා වෙත තබා ගැනීමට උත්සාහ කරයි. අප්‍රිය අරමුණුවලට මුහුණ පෑමේදී ඒවා ප්‍රතික්‌ෂේප කරමින් මනසෙහි ගැටීමක් ඇතිකර ගනී. ප්‍රිය අරමුණු කෙරේ ආලය, ආශාව, ලෝභය ඇතිවන්නේ අප්‍රිය අරමුණු කෙරේ තරහව, අමනාපය, වෛරය ඇතිවන්නේත් ඒ අනුවය.
ආත්මායනය මුල්කරගත් මෙම සිතුවිලි පිටුපස ශෝකයද රැඳී තිබෙන බව ඉතා පැහැදිලිය. භාග්‍යවතුන් වහන්සේ දේශාන කළ උතුම් ගාථා රත්නයන්හි කොටස් කීපයක් ඔස්‌සේ ඉහත අදහද වඩාත් පැහැදිලි කර ගනිමු. ධම්ම පදයෙහි සඳහන් මෙම ගාථාවන් තේරුම සමග සිහිපත් කොට බලන්න.
'පියතෝ ජායතී සෝකෝ
පියතෝ ජායතී භයං
පියතෝ විප්පමුත්තස්‌ස
නත්ථි සෝකෝ කුතෝ භයං
'ප්‍රියබව නිසා සෝකය උපදී. ප්‍රිය බව නිසා බිය උපදී. ප්‍රිය බවින් මිදුනු අයට ශෝකයක් නැත. බියක් නම් කෙසේ හටගන්නේද?'
'පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්‌ස
නත්ථි සෝකෝ කුතෝ භයං'
'ප්‍රේමයෙන් ශෝකය උපදී. ප්‍රේමයෙන් භයද උපදී. ප්‍රේමයෙන් මිදුනුහට ශෝකයක් නැත. බියක් කෙසේ නම් හටගන්නේද?'
'රතියා ජායතී සෝකෝ
රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්‌ස
නත්ථි සෝකෝ කුතෝ භයං'
'ඇල්ම නිසා ශෝකය උපදී. ඇල්මෙන් බිය උපදී. ඇල්මෙන් වෙන්වූවහුට ශෝකයක් නැත. බියක් කොයින්ද?'
'කාමතෝ ජායතී සෝකෝ
කාමතෝ ජායතී භයං
කාමතෝ විප්පමුත්තස්‌ස
නත්ථි සෝකෝ කුතෝ භයං'
'වස්‌තුන්ට ඇති කාමය නිසා රාග, දොaස, මෝහ ආදී සිතේ ඇතිවන කෙලෙස් කාමය නිසා ශෝකය උපදී. එම කාමයන්ගෙන් මිදුනු අයට ශෝකයක් නැත. බියක් කොයින්ද?
'තණ්‌හාය ජායතී සෝකෝ
තණ්‌හාය ජායතී භයං
තණ්‌හාය විප්පමුත්තස්‌ස
නත්ථි සෝකෝ කුතෝ භයං'
'තෘෂ්ණාවෙන් ශෝකය උපදී. තෘෂ්ණාව නිසා බිය උපදී. තෘෂ්ණාවෙන් මිදුනුහට ශෝකයක් නැත. එවිට බියක් කොයින්ද?'
මෙම සියලු පැහැදිලි කිරීම්වලින් මතුවන කරුණු වන්නේ ශෝකයට හේතුව නම් සිතෙහි හටගන්නා වූ ඇලීමය. ප්‍රේමය, ඇල්ම, වස්‌තුකාමය සහ තෘෂ්ණාව ආදී කරුණුම ශෝකය උපදවන බව ඉතාම පැහැදිලිය. එසේ නම් ශෝකයෙන් බැහැරවීම පිණිස ඔබ විසින් කළ යුත්තේ කුමක්‌ද? බුදුදහමෙහි උගන්වන දාර්ශනික ඉගැන්වීම් තේරුම් ගැනීමය.
මේ ලෝකයේ පවත්නා සවිඤ්ඤාණික සහ අවිඤ්ඤාණික එනම් ජීවී අජීවි සියලු දේවල් සම්මුතිය සහ පරමාර්ථය අනුව තේරුම් ගැනීමයි. පරමාර්ථ පිළිබඳ අවබෝධයක් ඔබට පළමුව තිබිය යුතුය. එනම් මෙලොව සියල්ලම අනිත්‍ය හෙවත් අස්‌ථිර බවය. සෑම දෙයක්‌ම දිරාගෙන යයි. වෙනස්‌වෙයි. ස්‌ථිර නැත. මරණයට පත්වෙයි. තමාගේ ශරීරයම නමුත් කොපමණ නම් පිරිසිදුව තබාගෙන ඇඳුමින් පැළ\qමෙන් සරසාගෙන සිටියත් ලෙඩ වෙන විට, දිරාගෙන යාමක හෙවත් මහළු වන විට අපට ඇති පාලනයක් නැත. තමාවත් තමාට පාලනයක් නැතිනම් තවත් අයෙක් ගැන 'මගේ' යෑයි පාලනයක් ගැන සිතන්නේ කෙසේද? දරුවන්, ස්‌වාමි, භාර්යා, සොහොයුරු සොහොයුරියන් සහ සිත්වලින් ඔවුනොවුන් සමීප වූ අය පවා මේ බව පරමාර්ථ නම් ධර්ම විවරණයට අනුව තේරුම්ගත යුතුය. කොපමණ නම් 'මගේය', 'ඔබ මගේ', 'මම ඔබේය', 'අපි අපේය' ආදී ලෙසින් කටයුතු පැවැසුවද එය යථාර්ථය හෙවත් සතය නොවන බව පැහැදිලිය.
එනම් ඔබ සහ අප විසින් කළ යුත්තේ කුමක්‌ද? පරමාර්ථය නම් යථාර්ථය දැනගෙනම සම්මුතියෙහි පිහිටා කටයුතු කරන්න. සම්මුතියට අනුව දෙමව්පියන්, දරුවන්, ස්‌වාමි භාර්යාවන් විසින් 'මගේ' හෝ 'අපේ' යෑයි කියන්න. දෙමාපියන් විසින් දරුවන්ට මෙසේ කියනු ඇත. 'පුතේ නුඹ මගේ', 'දුවේ නුඹ මගේ' සම්මුතියට අනුව මෙය වරදක් නොවේ. එනමුත් ඔබ තේරුම්ගත යුතු පරමාර්ථ දහම අමතක කළ යුතු නැත. එනම් ලෝක පැවැත්ම හෙවත් අනිත්‍යතාවේදී හෙවත් වෙනස්‌වන ලක්‌ෂණයේදී තමාට තමා කෙරේවත් අනුන් කෙරේවත් පාලනයක් නොමැති බවය. මේ බව දැන ජීවත්වීම ඔබට කළ හැකිය. දරුවන්ට ගුණ නුවණ ද ශිල්ප ශාස්‌ත්‍රයද ලබාදෙමින් දෙමාපිය යුතුකම් ඉටු කිරීම වටී. ලොකු මහත්වන දරුවන් ද දෙමාපියන්ට මැනවින් යුතුකම් ඉටු කළ යුතුය.
ස්‌වාමි පුරුෂයෙක් සහ භාර්යාවක් විසින්ද මේ ලෙසම මිනිස් ගුණ මතු කරගෙනම කරුණා මෛත්‍රියෙන් කටයුතු කළ යුතුමය. ඔබගේ වචනයෙන් සඳහන් කරන්නේ නම් 'ආදරයෙන්' තමජීවිත පැවැත්ම සකසාගත යුතුය.
වෙනස්‌වන ජීවි හෝ අජීවි වස්‌තු නිසා සිතෙහි තද ආශාව, තෘෂ්ණාව, ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී කෙලෙස් ඇතිකර ගැනීම දුකට හේතුවයි. ශෝකයට මූළකාරණයයි. සමහරුන් වෙනස්‌වන ලෝකයේ ඉඩම්කඩම්, ධනය හෝ වස්‌තු නිසා කොපමණ නම් ශෝකයෙන් සිටින්නේද? ඉඩකඩම්, ධනය වෙනුවෙන් අපමණ දුක් විඳිමින්, ශෝක වෙමින් කටයුතු= කරන බොහෝ දෙනා ජීවත්වෙන්නට ගෙයක් දොරක් නැති අයම නොවේ. ඒ ඔවුන්ගේ දැඩි තෘෂ්ණාවයි. වස්‌තු කාමයයි. මෙම ලෞකික ලෝකයේ ඔබ කොපමණ සමීප සිටියද, සම්මුතියට 'මම මගේ' යෑයි පැවැසුවද කිසිවක් ස්‌ථිර නැති බව අමතක නොකළ යුතුය. හමුවී ළං වී සිටින අය කවර වේලාවක, අවස්‌ථාවක වෙන්වී යාවිදොaයි පැවැසිය නොහැකිය. එය අද රාත්‍රියෙහි වුවත්, මෙම මොහොතෙහි වුවත් සිදුවිය හැකිය. මෙම පරමාර්ථ ධර්මය මැනවින් අවබෝධ කරගත් අය මිනිස් ගුණ මතුකරගෙන කටයුතු කරයි. ඔහු හෝ ඇය ප්‍රියකරු මනුෂ්‍යයෙකි. නිවසකට නම් ස්‌වාමි පුරුෂයෙකි. ස්‌වාමි දියණියකි. අම්මා කෙනෙකි. තාත්තා කෙනෙකි. සොයොහුරෙකි. සොහොයුරියකි. කල්‍යාණවත් වූ සත්පුරුෂයෙකි. ලෝකයේ සහ ජීවිත ගමනේ යථාර්ථයට මුහුණ දෙමින් ශෝක නොකරමින් ජීවිතය පවත්වන්නෙකි.
සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විණභාවෝති'. සියලු ප්‍රියමනාප වස්‌තූන්ගෙන් හා පුද්ගලයන්ගෙන් කවදා හෝ වෙන්වන්නට සිදුවේමය'.
ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි
2015 බක් මස 03 වැනිදා සිකුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment