මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Saturday, August 22, 2015
භාවනා කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු
අප කුමන ආකාරයේ යහපත් ක්‍රියාවක් කිරීමට අදහස් කළ ද එය වැළැක්වීමේ සිතිවිලි පහළ වීම ස්වාභාවිකය. කුමක් හෝ භාවනාවක නිරත වීමේදී හෝ ඒ සඳහා උත්සාහ කිරීමේදී පමණක් නොව, ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් හෝ ගෘහණියක හෝ වෙනත් රැකියාවක් කරන්නෙක් විය හැක. එම කටයුතු කරන හැම අවස්ථාවකදීම කුසීත බවක් අළස බවක් ඇති වීමට පිළිවන. එම කුසීත බවට බොහෝ හේතු තිබිය හැකිය. එම හේතුන් ඉවත් කළ විට යළිත් උද්යෝගය ඇතිවී, එම කාර්යයන් හොඳින් කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. ඇතැම් විට එම සිතුවිලිම ඉස්මතුව , ඒවාම ජයග්‍රහනය කරනු ඇත. ඒ අනුව ඔබ හැම අතින්ම අඩපන කරනු ඇත. එම කුසීත තත්ත්වයෙන් මිදී යළිත් ප්‍රකෘති තත්ත්වයට පත් විය හැකි නම් , එය ඔබේ ජයග්‍රහණයකි.
අප මහ බෝසතාණන් වහන්සේ පස් කම් සුව අත හැර, ගිහි ගෙයින් නික්ම යද්දී, මාරයා ඉදිරියට පැමිණ උන් වහන්සේගේ ගමනට බාධා කළ බව ප්‍රසිද්ධ කරුණකි. උන් වහන්සේ බුදු බව ලබන දිනයේ ද දස විධ මාර සේනාවන් පැමිණ උන්වහන්සේට බාධා කළ බව මෙන්ම මාර දියණියන් තිදෙනෙක් ද පැමිණ උන් වහන්සේ ගේ උත්සාහය වැළැක් වීමට කටයුතු කළ බව ද බෞද්ධ සාහිත්‍යයේ එන සුප්‍රසිද්ධ කරුණු වෙති. එම සියලු මාරයන් පරාජය කර තම අරමුණ ඉටු කර ගැනීමට උන්වහන්සේට හැකි විය. එම මාරයන් වනාහී පැරණි බිතු සිතුවම් වල දක්වා ඇති පරිදි මෙන්ම, ඇතැම් දෙනා තේරුම් නෙ ඇති පරිදි, බිකරු පුද්ගලයන් සමූහයක් නොව , ඒවා උන් වහන්සේගේ සිතට නැගුන සිතිවිලි සමූහයකි. එම සිතිවිලි වලට , හැගීම් වලට ඉඩ දුන්නේ නම් , උන් වහන්සේට කිසි දිනක බුදු බව ලැබීමට හැකියාවක් නොලැබෙනු ඇත. එම සිතිවිලි මාරයන් වශයෙන් හදුන්වනු ලැබුවේ ඒවා මාරයන් ලෙස බාධා කරන බැවිනි.
අපගේ සිත් සතන් තුළ ද එවැනි මාරයෝ , මාර දූවරු නොයෙකුත් වෙසින් පැමිණ ක්‍රියාත්මක වෙති. එම සියලු මාරයන්, මාර දූවරුන් පරාජය කරන ඇතැම් දෙනා තම ïවිත ආලෝකමත් කර ගනිති. ඇතැම් අය එම මාරයන්ට වසඟවී, ජීවිත අඳුරට පත් කර ගනිති. ඔබට එම මාරයන්ගෙන් මිඳිය හැකි නම්, ඔවුන් පරාජය කළ හැකි නම් ඒකාන්තයෙන්ම ජයග්‍රහණය ලබා ජීවිත ආලෝකමත් කර ගත හැකිය.
භාවනා කිරීමේදී ද ඉහත සඳහන් ආකාරයට මාරයන් හෙවත්, කුසීත සිතිවිලි පැන නගිනු ඇත. එම කුසීත කම් වලට, අලසකම්වලට වහල් නොවීමට, යටපත් නොවීමට අදහස් කරන්නේ නම්, ඔබ ඒවා හොඳින් හඳුනා ගත යුතු වන්නෙහිය. රඡෙකුට නම් තම සතුරන් කවුරුන් ද යන්න හොඳින් හඳුනානෙ සිටියහොත් ඔවුන් පරාජය කිරීමට හැකියාව ලැබෙයි. නොඑසේ නම් එම සතුරන්ට ගොදුරුවී, විනාශ වීමට සිදු වෙයි. පරාජය වීමට සිදු වෙයි. භාවනා කිරීමේදී ද එය අඩ පන කරන, යටපත් කරන , කුසීත, අලස සිතුවිලි සිත තුළ නිරතුරුවම පැන නැගීම සාමාන්‍යය ස්වාභාවයයි. එම නිසා භාවනා කිරීමට අදහස් කරන ඔබ එම කුසීත, අලස සිතුවිලි මොනවාද කියා තේරුම් ගෙන සිටිය හොත්, එයින් මිඳීමට සිතට අවශ්‍ය දිරිය ඉන් ලබා ගත හැකි වනු ඇත.
යෝගියෙකුගේ උත්සාහය , උනන්දුව වළක්වන සිත අළස බවට පත් කරන, කරුණු අටක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කළහ. ඒවා කුසීත වස්තු වශයෙන් හඳුන්වයි.
' අට්ඨමානි භික්ඛවේ කුසීත වත්ථූනි කතමානි අට්ඨ ? ඉධ භික්ඛවේ භික්ඛුනා කම්මං කත්තරීබං හෝති තස්ස ඒවං හෝති කම්මංඛෝ මේ කත්තබ්බං භවිස්සති.... (අංගුත්තර නිකාය) යනුවෙන් ඒබැව් සඳහන් වෙයි. බුදු හිමියන් වදාළ එම කුසීත වස්තු අට සහ ඒවා ඉවත් කර ගත යුතු ආකාරය පිළිබඳ ඉතා ලුහුඬින් දැක්වීම මෙම ලිපියෙහි අරමුණ වේ. මෙම කරුණු භාවනා කරන පිංවතුන්ට පමණක් නොව , එදිනෙදා කටයුතු හොඳින් ක්‍රමානුකූලව කිරීමට අදහස් කරන කාට වුව ද සුදුසු බව පෙනෙයි.
1. දුර්වල මනසකින් යුතු යෝගාවචරයන් භාවනා කිරීම ආරම්භ කරන විට මෙවැනි සිතිවිලි පහළ වෙයි. එනම් , ' මට මට තව ටික වෙලාවකින් විශේෂ කාර්යයක් කිරීමට තිබෙයි. එම කාර්යය සඳහා බොහෝ වෙහෙස විඳීමට සිදු වෙයි. එබැවින් භාවනා කිරීම පසුවට තබා , ටිකක් නිදා ගැනීම සුදුසු ය. මෙවැනි අලස සිතිවිල්ලක් ඔබේ මනසෙහි ද ඇති වීමට ඉඩ ඇත. එම අලස සිතුවිල්ල දුරු කර ගැනීමට ඔබ මෙලෙස සිතිය යුතු ය. එනම්, ' ඉදිරියේදී විශේෂ කාර්යයක් කිරීමට ඇත. එම කටයුත්ත නිසා මට භාවනා කිරීමට තිබෙනකාලය අඩු වෙයි. එය මට විශාල පාඩුවකි. එබැවින් ධ්‍යාන, මාර්ග ඵල, ලබා ගැනීම උදෙසා භාවනා කිරීම වඩාත් නුවණට හුරුවෙයි' යනුවෙන් සිතමින් , ආරම්භ කළ වීර්යයෙන් යුතුව, භාවනා කිරීමට යොමු විය යුතු ය.
2. යම් කිසි කාර්යයක නිරත වීමෙන් පසු මෙවැනි අදහසක් සිතට නැගෙයි . එනම් 'දැන් මම වැඩක් කිරීම නිසා, බොහෝ වෙහෙසට පත්ව සිටිමි. මෙතරම් වෙහෙසට පත්ව සිටින අවස්ථාවක කෙසේ භාවනා කරන්නෙමිද ? එබැවින් දැන් නිදා ගැනීම සුදුසු ය' යනුවෙන් සිතා නිදා ගනියි. එවැනි අලස බවක් සිතට නැගුන විට ඔබ කළ යුත්තේ, 'භාවනා කිරීමට තිබුණ මගේ කාලය වැඩකට යෙදවූ නිසා, මට සිදු වූයේ විශාල පාඩුවකි. සිදුවූ එම පාඩුව පියවා ගත යුතු වෙයි.' යනුවෙන් සිතා දිරිමත්ව, භාවනා කිරීමයි.
3. මට තව නොබෝ වේලාවකින් ගමනක් යාමට ඇත. එහිදී බොහෝ වෙහෙසට පත් විය හැකි ය. එනිසා දැන් මම නිදා ගත යුතු වෙමි ' මෙසේ සිතා භාවනා කිරීම අත් හැර නිදා ගනියි. එවැනි අළස සිතුවිල්ලක් සිතට නැගුන විට, මෙලෙස සිතා සිතට දිරිය ඇති කර ගත යුතු ය. එනම්, 'තව ටික වෙලාවකින් ගමනක් යායුතු වෙමි. භාවනා කිරීමට යෙදවිය යුතු මගේ වටිනා කාලය එම ගමන වෙනුවෙන් යෙදවීමට සිදුව ඇත. එබැවින් එම පාඩුව පියවා ගැනීමට දැන්ම භාවනා කළ යුතු වෙමි' මෙසේ සිතා, දිරිය වඩවා ගෙන භාවනා කළ යුතු ය.
4. කිසියම් ගමනක් ගියාය' යි සිතන්න. එම ගමන ගොස් ආපසු පැමිණි විට මෙවැනි සිතුවිල්ලක් සිතට නැගෙනු ඇත. එනම් , ' දැන් මම ගමනක් ගොස් පැමිණියෙමි. එබැවින් වෙහෙසට පත්ව සිටිමි. භාවනා කිරීම පසුවට තබා නිදා ගත යුතු වෙමි' මෙසේ සිතා නින්දට වැටෙයි. මෙවැනි අලස හැඟීමක් ඇති වූ විට මෙසේ සිතන්න. එනම්, 'මගේ වටිනා කාලයෙන් කොටසක් ගමන යාම සඳහා විනාශයට පත් විය. එයින් මට විශාල පාඩුවක් සිදු විය. එබැවින් එම පාඩුව මඟ හරවා ගැනීම පිණිස භාවනා කරන්නෙමි' මෙසේ සිතා වඩාත් උනන්දු විය යුතු ය.
5. ප්‍රමාණවත් පරිදි ආහාරයක් නොලැබුණ විටකදී මෙවැනි සිතිවිල්ලක් ඇති විය හැකි ය. එනම්, 'අද මට ප්‍රමාණවත් ලෙස ආහාරයක් නොලැබුණි කුසගින්නේ සිටින මම කෙලෙස භාවනා කරමිද? මෙසේ කුසීත බවට පත්ව භාවනා කිරීම නවත්වන්නෙහි ය. එවැනි අවස්ථාවක මෙසේ සිතිය යුතු ය. එනම්, 'අඩුවෙන් ආහාර ගැනීම නිසා මට සිදු වූයේ මහත් ලාභයකි . දැන් මගේ සිරුරට විශාල පහසුවක් දැනෙයි. ඒ නිසා භාවනා කිරීමට පහසුවක් ඇති විය' මෙසේ සිතමින් දිරිමත්ව භාවනා කළ යුතු ය.
6. කුස පිරෙන පරිදි ආහාරයක් ලැබුණ විටකදී මෙවැනි සිතිවිලි ඇති විය හැකියි. එනම් , 'දැන් මගේ කස පිරී ඇත. මත් වූවාසේ දැනෙයි. නිදිමත ගතියක් ද ඇත. මෙම අපහසුතාවය මග හැරෙන තෙක් නිදාගෙන විවේක ගත යුතුයි' මෙසේ සිතා භාවනා කිරීම අත පසු කරයි. ඔබට මෙවැනි අලස බවක් ඇති වුවහොත්, මෙසේ සිතමින් දිරිමත් වන්න. එනම්, ' කුස පුරා ආහාර ගත් නිසා මගේ ශරීරයේ සියලු අපහසුතා දුරු විය. ශරීරයට ශක්තියක් ද ලැබුණි. ඒ නිසා මට තව තවත් හොඳින් භාවනා කළ හැකි වෙයි' යනුවෙන් සිතා, භාවනාවට යොමු වන්න.
7. සුළු අසනීපයක් ඇති වූ විට මෙවැනි අදහසක් සිතට නැගෙයි. එනම්, 'මගේ මෙම අසනීප තත්ත්වය තිබියදී භාවනා කළහොත්, තවදුරටත් අසාධ්‍ය විය හැකි ය. එබැවින් භාවනා කිරීම පසෙකලා , දැන් නිදාගෙන විවේක ගත යුතු ය' යනුවෙන් සිතට අළස බවක්, කුසීත බවක් ඇති වූ විට මෙලෙස සිතමින් දිරිමත් විය යුතු ය. එනම් , 'යම් ආකාරයකින් මගේ මෙම අබාධය අසාධ්යබවට පත් වුව හොත්, කෙලෙසකවත් භාවනා කිරීමට නොහැකි වනු ඇත. එය මට විශාල අලාභයකි' මෙලෙස සිත දිරිමත් කර ගනිමින් භාවනා කළ යුතු ය.
8 . ඔබට අසනීපයක් සැදී එය සුව වූවාය' යි සිතන්න . සුවය ලැබූ පසු මෙවැනි සිතුවිල්ලක් ඇති විය හැකිය. එනම් , 'මගේ අසනීපය සුවය ලබා වැඩි දිනක් ගතවී නැත. තවම මගේ ශරීරය දුර්වලය . මෙම තත්ත්වය අනුව භාවනා කළහොත් තව තවත් අසනීපය උත්සන්න විය හැකි ය. එබැවින් ශක්තිය වර්ධනය වන තෙක් ඇඳටවී, විවේක සුවයෙන් සිටීම වඩාත් සුදුසු ය' යනුවෙන් සිතමින් භාවනා කිරීම පසෙකලා, නිදා ගනියි. මෙවැනි අවස්ථාවක ඔබ මෙලෙස සිතිය යුතුය. එනම්, 'දැන් මගේ අසනීපය සුවය ලබා ඇත. යම් හෙයකින් එය යළි උත්සන්න වුව හොත් , භාවනා කිරීමට හැකියාව නොලැබෙයි. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු ය. ධ්‍යාන මාර්ග ඵල ලබා ගැනීම සඳහා මා ආරම්භ කළ උත්සාහය කෙලෙසකවත් අත් නොහරින්නෙමි' යනුවෙන් සිත දිරිමත් කර ගෙන භාවනා කළ යුතු ය.
මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ භාවනා කිරීමේ දී පමණක් නොව , එදිනෙදා කුමන කටයුත්තකදී වුව ද මෙලෙස සිත දිරිමත් කර නෙ කටයුතු කළ හොත් , ජීවිතය ජය ගත හැකි වන බවයි.
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති ,
නාලන්දේ විමලවංශ හිමි
2015 බක් මස 03 වැනිදා සිකුරාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment