මේ ශරීරය හැදිල තියෙනවා කොටස් තිස් දෙකකින්, කෙස්වලින් පටන් අරගෙන යටිපතුල්වලින් අවසන් වෙන, මේ කොටස් තිස් දෙක කටපාඩම් කරගෙන, එම කොටස් එකක් එකක් ගැන වෙන වෙනම හොඳින් හිතන්න ඕන. එහෙම හිතනකොට මේවායේ තියෙන නියම ස්වභාවය ඒ කියන්නේ වෙනස්වන බව, කැඩෙන බිඳෙන බව අවබෝධ වෙනවා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අසුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්හි ච මත්තඤ්ඤුං – සද්ධං ආරද්ධ වීරියං
තං වෙ නප්පසහති මාරො – වාතො සෙලං ව පබ්බතං
කාරුණික පින්වතුනි,
අද ධර්ම දේශනාව සඳහා මාතෘකාවට තබා ගත්තේ ධම්මපදයේ යමක වග්ගයේ අටවෙනි ගාථාවයි. ඇයි මම මේ ගාථාව තෝරගත්තේ. ජීවිතේ කිසිම දවසක බියක් ඇති නොවෙච්ච මිනිස්සු අප අතර ඉන්නවද? ඇත්තට ම අපට අනන්ත අප්‍රමාණව බිය ඇතිවෙනවා. ඒ වගේම තමයි කාගෙන්වත් බැණුම් අහපු නැති, තර්ජන ගර්ජනවලට මුහුණ නොපාපු, නින්දා අපහාස නො ලබපු අය ඉන්නවද? ඇත්තට ම නැහැ. අප හැමෝම මේ දේවල්වලට මුහුණපානවා. මෙහෙම වෙලාවට සමහර මිනිස්සු මුහුණ දෙන්නේ කොහොමද? සමහර මිනිස්සුන්ට බියක් ඇති වුනාම, තැති ගැනීමක් ඇති වුනා ම, නින්දා අපහාස කළාම ඉවසගන්න බැහැ. විඳ දරා ගන්න බැහැ. විඳ දරා ගන්න බැරි වුනාම ජීවිත හානි කර ගන්නවා
බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් ඉගැන්නුුවේ එක්කෙනෙක් ඇවිත් බිය වද්දන කොට නෙවෙයි. එක් කෙනෙක් ඇවිත් තර්ජන ගර්ජන කරන කොට නෙවෙයි, මහා භයානක මාර සේනාවක් ආවත්, හේ මාර සේනාවටවත් බිය නැතිව, පරාජය වෙන්නේ නැතිව, ඉන්ද්‍රඛීලයක් සේ සෙලවෙන්නේ නැතිව ජීවිතය සකස් කර ගන්න පුළුවන් ධර්මයක්, බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් දෙනවා. තං වෙ නප්පසහති මාරො – වාතො සෙලංව පබ්බතං ‘ මහ විශාල ගල් පර්වතයක් සුළඟට සෙල්වෙන්නේ නෑ වගේම මේ ගාථාවෙන් උගන්වන කරුණු පහ තමන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කර ගත්තොත් මාර සේනාවක් අප ඉදිරියට ආවත් සෙලවෙන්නෙවත් නැතිව ඉන්න පුළුවන්.
මෙම ගාථාවෙන් බුදුහාමුදුරුවෝ අපට පළමුවෙන්ම ඉගැන්වූයේ ‘අසුභානු පස්සිං විහරන්තං තමන්ගේ ශරීරයට ඕනවට වඩා වැඩිව, දැඩිව ආශාවක් ඇල්මක් තියා ගන්න එපා කියලයි. අප ශරීරයට ආශා කරන්න ඕන. ඒත් ඕනවට වඩා දැඩි ඇල්මක්,ආශාවක් , බලාපොරොත්තුවක් තියා ගන්න හොඳ නැහැ. මම ඔබට එය තවත් විස්තර කරන්නම්. මේ ශරීරය හැදිල තියෙනවා කොටස් තිස් දෙකකින්, කෙස්වලින් පටන් අරගෙන යටිපතුල්වලින් අවසන් වෙන, මේ කොටස් තිස් දෙක කටපාඩම් කරගෙන, එම කොටස් එකක් එකක් ගැන වෙන වෙනම හොඳින් හිතන්න ඕන. එහෙම හිතනකොට මේවායේ තියෙන නියම ස්වභාවය ඒ කියන්නේ වෙනස්වන බව, කැඩෙන බිඳෙන බව අවබෝධ වෙනවා.
උන්වහන්සේ දෙවැනි උපදේශය “ඉන්ද්‍රියෙසු සුසංවුතං ‘ අපට තියෙනවා. ඉන්ද්‍රියන් හයක්. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනසයි. මේ ඉන්ද්‍රියන් හය අප සංවර කර ගන්න ඕන. මේ ඉන්ද්‍රියන් හයෙන් නිමිති අරගෙන මනාප සිතිවිල්ලක් ඇති කර ගන්න එපා. මොකද? මනාපයේ අවසානය රාගයයි. අමනාප සිතිවිල්ලක් ඇති කර ගන්නත් එපා. මොකද? අමනාප සිතිවිල්ලේ අවසානය ද්වේෂයයි. එහෙමනම් අප කොතනටද එන්න ඕන. උපේක්ෂාවටයි එන්න ඕන.උපේක්ෂාව කියලා කියන්නේ දැඩි මනාපයකුත් නැතිව, දැඩි අමනාපයකුත් නැතිව මධ්‍යස්ථ වුනාම අපේ ඉන්ද්‍රියන් හය කිසිම දේකින් වෙනස් වෙන්නේ නැහැ.
තුන්වෙනි කරුණ ‘භොජනම්හි ච මත්තඤ්ඤුං ‘කුසේ ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න ඕන. ඇත්තටම අප අවබෝධ කරගන්න ඕන මොකටද? කෑම කන්නේ කියලා. ඒ තමයි ‘කායස්ස ඨිතියා යාපනාය’ මේ ශරීරයේ යැපීම හා පැවැත්ම සඳහාම පමණයි. ඊට එහා මොකවත් ගැන හිතන්න එපා.
හතරවෙනි කරුණ ‘සද්ධා’ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසයට. මුලින්ම තමන්ට තමන් ගැන තියෙන විශ්වාසයටය. ඊට පස්සෙයි තුනුරුවන් ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕන. මොකද? තමන් ගැන තමන්ටම විශ්වාසයක් නැත්නම්, එහෙම කෙනා කොහොමද? තුණුරුවන් ගැන විශ්වාසයක් ඇති කරගන්නේ.අප මෙයට කියනවා ආත්ම විශ්වාසය කියලා. ආත්ම විශ්වාසය නැති කිසිම කෙනෙකුට බෞද්ධයෙක් වෙන්න බැහැ. ශ්‍රද්ධාවෙහි අමූලික ශ්‍රද්ධාව හා ආකාරවති ශ්‍රද්ධාව කියලා ප්‍රභේද දෙකක් තියෙනවා. අමූලික ශ්‍රද්ධාව කියාල කියන්නේ මුල් නැති ශ්‍රද්ධාවටයි. මුල් නැති නිසා ශක්තිමත් නැහැ. මෙම ශ්‍රද්ධාව ස්ථිර නැහැ. මුල් නැති ගහක් පොඩි සුළඟට වුනත් එහාට මෙහාට පැද්දිලා, සෙලවිලා බිම වැටෙනවා. ඒ වගේම මේ ශ්‍රද්ධාව තියෙන කෙනාත් එහාට මෙහාට වැටෙනවා. එක ස්ථාවරයක ඉන්න බැහැ. ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ මුල් තියෙන ශ්‍රද්ධාවටයි. ගහක් හොඳින් මුල් අල්ලලා තියෙනවා නම්, මහ සුළඟක් ආවත් වැටෙන්නේ නැහැ. ඒ වගේමයි ආකාරවතී ශ්‍රද්ධාව තියෙන කෙනාත් කිසිම වේලාවක වට්ටන්න බැහැ. වෙනස් කරන්න බැහැ.
පස්වෙනි කරුණ ‘ආරද්ධ විරියං ‘පටන්ගත්ත වීර්යය ඇති බව, මොකක්ද? පටන්ගත්ත වීර්යය කියලා කියන්නේ. යම් දෙයක් පටන් ගත්ත නම් ඒ දේ ඉවර වෙනකම් කරන්න පුළුවන් වෙන්න ඕන. මිනිස්සු හැමෝම එහෙම කරනවද? නැහැ සමහරු සමහර දේවල් කොච්චර ඉහළින් පටන් ගන්නවද? බෙර ගහල,තොරන් ගහල,අමුත්තෝ ගෙන්නල,උත්සව තියලයි පටන් ගන්නේ. ඒත් ටික දවසකින් සේරම නතර වෙනවා. ඇයි එහෙම වෙන්නේ. මෙන්න මේ ආරද්ධ වීර්යය නැතිකම නිසයි. බෞද්ධයෙක් වුනාම අනිවාර්යයෙන්ම ආරද්ධ වීර්යය තියෙන්න ඕන. මේ කාරණා පහ ඔබ ජීවිතේට පුරුදු පුහුණු කර ගත්තොත් එක් අයෙක් දෙන්නෙක් නෙවෙයි මාර සේනාවක් ඔබට විරුද්ධව ආවත් කිසිදු බියක් තැති ගැනීමක් නැතිව මහා ඉන්ද්‍රඛීලයක් සේ නො සෙල්වී ඉන්න පුළුවන් වේවි.
ඔබ සැමට තෙරුවන් සරණයි.
රාජකීය පණ්ඩිත, දර්ශනපති
බලපිටියේ සිරිසීවලි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 22 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment