Labels

Tuesday, August 4, 2015

සසර පෝෂණය කරන ආහාර


ශරීරය පෝෂණය කිරීමට ගන්නා ආහාර පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් තිබුණ ද සසර පෝෂණය කරන ආහාර පිළිබඳ අවබෝධයක් නැත. සත්වයා භවයෙන් භවයට ගමන් කරන්නේ ද සුවිශේෂී ආහාර සමූහයක් හේතුවෙනි. ඒවා පිළිබඳ ප්‍රඥාගෝචරව විමසීමෙන් එහි යථාර්ථය අවබෝධ වේ.  



අප එදිනෙදා ජීවිතයේදී ආහාර වශයෙන් සලකන්නේ එදිනෙදා කන බොන ආහාර පානාදියයි. ඒ සඳහා උදේ හවා උත්සුක වීමට, වෙහෙසීමට අපට සිදුවේ. මේ ආහාරය කබලිංකාර ආහාර වශයෙන් හඳුන්වා දෙනු ලැබේ. පිණ්ඩපාතය වශයෙන් අප පූජා කරන්නේද බත් ව්‍යඤ්ජන ආදියයි. එය භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කරන සිව්පසයට අයත් වේ.
බුදුහිමි සෝපාක පොඩි හාමුදුරුවන්ගෙන් විචාල “ඒක නාම කිං” “එක නම් කිම?” යන පැනයට සෝපාක හිමි උත්තර දෙන්නේ ආහාරට්ඨිතිකා ආහාර වශයෙනි. ඒ අනුව සත්වයාගේ එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍යම දෙය ආහාරය බව පැහැදිලිවේ.දානය වශයෙන් පූජා කරන ආමිස දාන අතරින් ආහාරය ප්‍රධාන වේ. දානය පූජා කිරීම තුළින් ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, දියුණූ වන බවත් ඒවා ලබන්නන්ට හා දෙන්නන්ට යන දෙපිරිසටම එම ආනිශංස හේතු වන බවත් පැහැදිලි වේ.
එසේ නම් ශරීරය පෝෂණය කිරීමට කබලිංකාර ආහාර වැදගත් වන බව නොකිවමනාය. අපගේ ශරීර කූ®ඩුව වැසී තිබෙන්නේ මස් පිඬු වලිනි. ආහාර අඩුවීගෙන යන විටදී ශරීර කූඩුව කෘෂ වන්නට පටන් ගන්නා අතර එහිදී විරූපී බවක්ද උසුලනු ඇත. සිදුහත් බෝසතාණන් වහන්සේ නිවන් මඟ සෙවීමේ දී අත්ථකිලමතානු යෝගය අත්හදා බැලුවේ ශරීරයට ආහාර දීම ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමෙනි. එයින් සිදුහත් බෝසතාණන්ගේ පැහැපත් ශරීරය අතිශය කෘෂ වී දුර්වල වූ බව සඳහන් වේ.
ශරීරය පෝෂණය කිරීමට ගන්නා ආහාර පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් තිබුණද සසර පෝෂණය කරන ආහාර පිළිබඳ අවබෝධයක් නැත. සත්වයා භවයෙන් භවයට ගමන් කරන්නේද සුවිශේෂී ආහාර සමූහයක් හේතුවෙනි. ඒවා පිළිබඳ ප්‍රඥාගෝචරව විමසීමෙන් එහි යථාර්ථය අවබෝධ වේ. එකිනෙකට සාපේක්‍ෂකව එම කරුණු සසර නමැති ශරීරය පෝෂණය කරයි. ඒ අනුව, ඒවා පිළිබඳ විමසා බැලීම සසර තව තවත් පෝෂණය නොකර සිටීමට හේතු වනු ඇත.

ඇසට – රූපය
කනට – ශබ්දය
නාසයට – ගඳ සුවඳ
දිවට – රස
ශරීරයට – ස්පර්ශය
මනැසට – අරමුණු

ඉහතින් දැක්වූයේ ෂඩායතන හා ඒවා ජීවත් කරවන ආහාරයි. ඇස ජීවත් කරවන්නේ රූපය තුළිනි. එහිදී ඇස හා රූපය එකතු වී චක්ඛු විඤ්ඤාණය උපදී. සත්වයා කම්සැප විඳිනවා යනු මෙම ඉන්ද්‍රියයන් හා ඒවාට ගෝචර වන අරමුණුත් සමඟ ජීවත් වීමය. එහිදී එක අවස්ථාවක දුකත් තව අවස්ථාවක සැපත් තව අවස්ථාවක ඒ දෙකටම අතරමැද (අදුක්ඛම සුඛ) විඳීමත් සිදු කරනු ඇත. මෙසේ ඉන්ද්‍රියන් වලට ගෝචර වන අරමුණු ආහාර වශයෙන් ගෙන ජීවත් වේ. විටෙක සිනාසෙන කෙනකු තව මොහොතක හඬයි. අද සියලු දේම පාහේ නිපදවන්නේ මෙම ඉඳුරන් පිනවීමටය. එය සසර පෝෂණයට නිරන්තරයෙන් හේතුවේ. චුති චිත්තය එළැඹි කල්හි මෙම ඉන්ද්‍රියයන් විසින් ලබා ගැනුණුඅරමුණු සිහිපත් වනු ඇත. යහපත් අරමුණක් ගෙන චුති චිත්තය පහළ වු විට හොඳ ආත්ම භවයක්ද අයහපත් අරමුණක් ගෙන චුති චිත්තය පහළ වු විට දුගතිගාමී භවයක්ද ලැබෙනු ඇත.
තව දුරටත් විමසා බැලු විට, සිත,කය, වචනය වශයෙන් වන ත්‍රිවිධද්වාරයන් යහපත් පැත්තට හෝ අයහපත් පැත්තට යොදා ගත හැකි බව මැනැවින් වැටහෙනු ඇත. භව ගමනත් සමඟ ඒවා සම්බන්ධ වීමේදි කුසල් අකුසල්, පින් පව් ආදි වශයෙන් කතා කරනු ඇත.දොරටු තුන අයහපත් දේ සඳහා විවර වුවොත් එනම් තුන්දොරෙන් අකුසල් සිදු කළොත් ඉන් ලැබෙන්නේ අයහපත් ඵල විපාකයි. සැප විපාක ලබාගැනීමට නම් තුන්දොරෙන් කුසල් සිදු කළ යුතුවේ.
මනෝ සංචේතනා ආහාරද සසර පෝෂණය කරන ආහාර අතරවේ. එනම් චේතනා පහළවීමයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යැයි බුදුහිමියන් දෙසු පරිදි චේතනාව කර්මයවේ. එහිදී එය විපාක දීමක් සිදු වීමට හේතු වෙයි. සසර පෝෂණයේදී චේතනා නොහොත් සිතුවිලි ප්‍රධාන බලවේගයක් වන ආකාරය විස්තර කොට ඇත. හේතුඵල වාදයත් සමඟ සම්බන්ධතාවක් දක්වන මෙම ආහාර සසර නිරන්තරයෙන් ඉදිරියට ගෙන යෑමට හේතුවන සාධකයි.
සසර පෝෂණය කරන ආහාර අතර විඤ්ඤාණ ආහාරය ද වේ. සත්වයකු බිහි වීමේදීත් ජීවිතය පවත්වාගෙන යෑමේදීත් විඤ්ඤාණය ඉතා වැදගත් වනු ඇත. සත්වයකු ඉපදීමේදී කරුණු තුනක් සාධක වනු ඇත. මවගේ ඍතුවීම, මවුපිය සහවාසය යන මේ කරුණු දෙක සුලබව සිදු වුණත් විඤ්ඤාණයක් ඇතුළු වීමේදි බොහෝ බලපෑම් සිදු වීමට පුළුවන. ඒ අනුව සියල්ල සම්පූර්ණ වුවද විඤ්ඤාණය ශක්තිමත්ව නොපිහිටා ඇත්නම් සත්වයෙකුගේ හට ගැනීම පිළිබඳ ගැටලුවක් මතුවීමට ඉඩ ඇත. මේ ආකාරයෙන් සසර පැවැත්මට විඤ්ඤාණය ආහාරයක් වේ.එසේ නම් අප කළ යුත්තේ මෙම සසර පෝෂණය කරන ආහාර මල්ල ඉවත් කිරීම නොවේද? සසර අප මොනතරම් දීර්ඝ කාලයක් මේ විධියට පෝෂණය කිරීමට ආහාර නිපදවා ගනු ඇද්ද යන්න පිළිබඳ ප්‍රඥා ගෝචරව කල්පනා කළ යුතු කරුණකි.
ශරීරයට වඩා සිත බලවත් වන්නේ සසර පෝෂණයට සිත ඍජුව බලපාන බැවිනි.අප කෙතරම් ආදරයෙන් ශරීරය රැක බලා ගත්තද එය මෙලොවදීම දමා යනු ඇත. නමුදු අරමුණු නොනැවති සසර විඤ්ඤාණ ආහාර තුළින් දිගින් දිගටම සසර පෝෂණය කරනු ඇත. එය ධර්මානුකූ®ලව දැක ප්‍රඥාවෙන් සසර ගමන නැවැත්වීමට උත්සුක විය යුතුය.
එයට හේතුව මෙම සසර ජාති,ජරා, ව්‍යාධි, මරණාදී දුක්වලින් පරිපූර්ණ වන බැවිනි. ඒ බව ධර්මානුකූලව මෙනෙහි කොට භාවනානුකූලව සිත වර්ධනය කොට නිවන් සුව ලැබීමට සියල්ලෝ උත්සුක වෙත්වා!

 මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ දෙසැම්බර් 02 වනදා සඳුදා    දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment