Labels

Monday, August 3, 2015

පතන තැනක යළි උපදිමු!


බුද්ධ දේශනාවේ මූලික වශයෙන් අපට උගන්වන්නේ සංසාර දුකින් නිදහස්වීමයි.සංසාර දුකින් නිදහස්වීමට අපට සුදුසුකම් කිහිපයක් තිබිය කිහිපයක් තිබිය යුතුයි. ඒ සුදුසුකම්වලින් කිහිපයක්ම බණ අසන, බණ දහම් කියවන ඔබ සතුව තිබෙනවා. මිනිසත් බව, ක්ෂණ සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය සහ ඥානවන්තකම යන අවශ්‍යතා අතරින් වැදගත්ම කරුණ නම් ඥානවන්ත භාවයයි. යමෙක් ඥානවන්ත නැතිනම් ඔහුට හෝ ඇයට බුදු දහම තේරුම් කරගන්න අපහසුයි. ඒ අය වෙනුවෙන් කොපමණ කරුණු කාරණා ප්‍රකාශ කළත් දහමේ හරය අවබෝධ කරගැනීමේ හැකියාවක් ඔවුන් සතුව නැහැ. ඥාන සම්ප්‍රයුක්ත ජීවිතයක් ගත කරන අතරම, තමන් නිවන් අවබෝධ කර ගත යුතුයි කියන අදහස අවංකවම පවතින්න ඕන. එසේ නැතිනම් අවම වශයෙන් කෙසේ හෝ මම දුකින් නිදහස් වෙනවා කියන අධිෂ්ඨානය දිවියට කාවැදී තිබිය යුතුයි. යම් කෙනකුට ඥානවන්ත නැතිනම් දුක පවතින බව අවබෝධ වෙන්නේ නැහැ. එවැනි අවබෝධයක් නැති අයට දුකින් නිදහස්වීම පිළිබඳව හැඟීමක් ඇතිවෙන්න් නැහැ. නැණවත් බවින් තොරව හෝ අවශ්‍යතාවකින් තොරව කොපමණ ධර්මය ඇසුවත් ඒ අයගේ ජීවිතයට සැබෑ සැනසීමක් ළඟාකරගන්න අපහසුයි.

 අපේ මාතෘකාව සංඛාරුප්පති සූත්‍රයයි. සංඛාරුප්පති, නැතිනම් සංඛාර රුප්පති යන්නෙහි සරල අදහසවන්නේ සංඛාරවල නැවත නැවත හට ගැනීමයි. සංඛාර කියන්නේ අපේ සිත ඇසුරෙන් පහළවන පුණ්‍ය චෛතසික, පාප චෛතසික පමණක් නොවේ. ලෞකික සමාධි අවස්ථාවන්හිදී පහළ වන සිතිවිලි හඳුන්වන්නේ ආනන්ජාභි සංඛාර වශයෙන්. මේ සමස්තයම ලොව්තුරා බුදුන්වහන්සේ සංඛාර වශයෙන් දක්වනවා. මේ සංඛාරවල ශක්තියෙන් තමයි භවය ඉදිරියට ගෙනියන්නෙ. පුනර්භවය සිදුවෙන්නෙ. අපි පුඤ්ඤාභිසංඛාර වශයෙන් දක්වන පින් සිතිවිලි හෙවත් පුණ්‍ය චේතනා භාවිත කරනවා නම්, රැස් වෙනවා නම්, අපි සුගතිගාමී ජීවිතයක් ලබනවා. එලෙසින්ම පාපී සිතිවිලි නිතර පරිහරණය කිරීම නිසා අපි නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර නිකාය ආදී දුර්ගත භවවල උපත ලබනවා. ලෞකික සමාධි දක්වා සිත වඩා ගත් අය එහි ශක්තියෙන් බ්‍රහ්මතලවල උපදිනවා.
බුදුන්වහන්සේ සංඛාරුප්පති සූත්‍රයේදී පහදා දෙනවා ධර්මතා පහක් දියුණු කරන යම් ගිහියකු හෝ පැවිද්දකු තමන් කැමැති තැනක උපත ලැබිය හැකි භාග්‍ය උදාකරගන්නා බව. බොහෝ පිරිස තුළ සැප සහිත තැන්වල උපත ලබාගැනීමේ බලවත් කැමැත්තක් ඇතත්, ඒ සඳහා ගුණ ධර්ම දියුණු කළ යුතු බව ඒ අය දන්නේ නැහැ. බුදුන්වහන්සේ ඉහත කරුණු ඉතා පැහැදිලිව සංඛාරුප්පති සූත්‍රයේ දේශනා කරනවා.
මේ ගුණ ධර්ම පහ නම්, ශ්‍රද්ධා, සති, ශ්‍රැත, ත්‍යාග සහ පඤ්ඤා යන්නයි. මේ ගුණ ධර්ම දියුණු කරන කෙනෙකුට කැමැති ස්ථානයක උපත ලබාගත හැකි බව බුදුන්වහන්සෙන් දේශනා කරනවා. දිළිඳුව ඉපැදී ඇති අයෙක් ශ්‍රද්ධා සති, සීල, ශ්‍රැත, ත්‍යාග, පඤ්ඤා, යන ගුණ ධර්ම අවංකව වඩමින්, මහාසාර කුලයක උපත ලැබීමට අදිටන් කළහොත් ඒ තැනැත්තා මරණින් මතු මහාසාර කුලයක, සුගතිගාමීව උප්පත්තිය ලබනවා. එසේම යම් පුද්ගලයෙක් මෙම ගුණ දහම් වඩා, යාමය, තාවතිංසය, තුසිතය, නිම්මාරතිය, පරනිම්මිත වසවත්තිය ආදී සත්විධ කාම ස්වර්ගවල ඉපැදීම ප්‍රාර්ථනා කළහොත් ඔහුටත් ඒ අයිතිය හිමිවෙනවා. ගුණ දම් වඩා, සත්විධ කාම ස්වර්ග ඉක්මවා ගිය සුද්ධාවාසයික බ්‍රහ්ම තලයක පවා පැතූ අයුරින් උපත ලබාගත හැකි බව මේ සූත්‍රයේ සඳහන් වෙනවා.
නමුත් ඥානවන්ත අපි කල්පනා කරන්නේ වෙනස් විදියකට. තාවතිංසය ආදී සත්විධ දිව්‍ය තලවල හෝ බ්‍රහ්මතලවල හෝ එය ඉක්මවා ගිය සුද්ධාවාසයක ලොවක ඉපැදුනත්, ඒ කිසිවකුට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඉක්මවා සිටීමට බැහැ. මේ ලෝකය දුක මත පවතිනවා කියන අවබෝධය ඇති නැණවත් අය ශ්‍රද්ධා, සති, සීල, ත්‍යාග, පඤ්ඤා කියන ගුණ දහම් දියුණු කර, සියලු ආස්‍රවයන් බැහැර කර චේතෝ විමුක්තියට හෝ ප්‍රඥා විමුක්තියට පත්වන බව බුදුන්වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා.
මේ සූත්‍රයේ ඇති වැදගත්ම හෙළිදරව්ව නම් තමා උපදින තැන තමා විසින්ම නිර්මාණය කර ගන්නවා යන්නයි. අපගේ ශ්‍රද්ධාව සීල ආදී ගුණ ධර්ම වර්ධනය වනවිට අපට වැටහෙනවා කොතැන ඉපැදුනත් පවතින්නේ දුක බව. එසේ කල්පනා කර පෙර දැක්වූ ගුණධර්ම අවංකවම දියුණු කරන පුද්ගලයා සතුව වීර්ය සහ අධිෂ්ඨානයත්, සසර බිය සහ සසර දුක ගැන අවබෝධයත් ඇත්නම් ඔහු මේ අත්භවයේදීම ඒකාන්ත වශයෙන් නිවන් සාක්ෂාත් කරගන්නා බව බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ලෝකයේ ජීවත්වන ඥානවන්ත අය නැවත සසර ඉපැදීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. සුළු පිරිසක් පමණයි සුගතිගාමී භවවල උපත පතාගෙන පින්දහම් කරන්නෙ. ඉන් බොහෝ දෙනා වටහා ගෙන සිටිනවා මේ එළැඹී නිවන සාක්ෂාත් කරගැනීමට සුදුසු කදිම අවස්ථාවක් බව.

 2014 ඔක්තෝබර් මස 01 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment