වෙසක් පොහෝ දිනට පෙර දින සිදුහත් තවුසාණෝ බෝධි මූලයෙහි කුසතණ අතුරා එහි පලක් බැඳ වැඩහුන්හ. එතුමාණෝ තිර අදිටනක් ඇති කැර ගත්හ. එනම් ‘සර්වඥතා ඤාණය ලබාගෙන මුත් මෙයින් නොනැගිටින්නෙමි’ යනුවෙනි. ඒ අනුව වෙසක් පුන් පොහෝ දින අලුයම වනවිට සකල ක්ලේශ ප්‍රහීණ කිරීමෙන් උතුම් සර්වඥතා ඤාණය අවබෝධ කැරගෙන බුද්ධත්වයට පත් වූහ.
අංගුත්තර නිකායෙහි දුක නිපාතයෙහි සඳහන් පරිදි ‘මහණෙනි මේ සිරුරෙහි නහරත්, ඇටත් ඉතිරි වුවහොත් ඉතිරිවේවා, ලේ මස් වියැලී යතොත් වියැළීයේවා, වීර්යයෙන් යම් තැනකට පැමිණිය යුතුද එතැනට නොගොස් වීර්යයෙහි නැවැත්මක් නැත්තේය. පසුබැසීමක් නැතිව මම වීර්ය කළෙමි. එසේ උත්සාහ කළ මම සතර මඟ සතර ඵල ලැබුවෙමි. සර්වඥතා ඤාණය ලැබුවෙමි. මහණෙනි, ඔබලා ද එසේ වීර්ය වඩව්, නොනවත්වා වීර්ය වඩව්, ශරීරයෙහි සම්, මස්, ඇට, නහර වියැලී යතත්, පුරුෂ බලයෙන්, පුරුෂ විර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් අරහත් ඵලය ලැබෙන තෙක් වීර්ය කරව්’ යනුවෙනි. මනුෂ්‍යයා විවිධ කාර්ය ඉටුකැර ගැනීම සඳහා උත්සාහ දරති. මිල මුදල් වැය කරති. එයින් ඇතැම් කටයුතු සඵල වෙයි. ඇතැම් කටයුතු නිෂ්ඵල වෙයි. එහෙත් බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් කැරෙන උත්සාහය කිසි ලෙසත් නිෂ්ඵල නොවෙයි. එම උත්සාහයේ ප්‍රතිඵල කෙදිනක හෝ ලැබෙයි. බුදුහිමියන් ලෝක සත්ත්වයාට වීර්යයෙන් කටයුතු කරන ලෙස අනුශාසනා කළේ එබැවිනි. යමෙක් වීර්යයෙන් තොරවැ, අලසවැ, කම්සැප ගැනම සිතමින් වසර සියයක් ජීවත් වනවාට වඩා බුදු සස්නෙහි ශීල, සමාධි ප්‍රඥා දියුණු කිරීමට වීර්ය කරමින් එක් දිනක් හෝ ජීවත් වීම උතුම් වෙයි.
පිළිවෙත් පිරීමට වෙර දැරීම මනා සිහියෙන් යුක්තවැ ප්‍රඥාව දියුණු කැරගනු පිණිස කටයුතු කිරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් වශයෙන් සලකනු මැනවි. මනා කොටැ සිහිය පවත්වා ගැනීම ‘සතිපට්ඨාන’ වශයෙන් සැළකේ. ‘සති’ යනු සිහියයි. ‘පට්ඨාන’ යනු පිහිටුවා ගැනීමයි. සිහිය පිහිටුවා ගැනීම උතුම් ක්‍රියාවකි. බුදුරදුන් ‘ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය. ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා’ යනුවෙන් ‘මහණෙනි සත්වයාගේ විශුද්ධිය සඳහාද, ශෝකය, වැළපීම, සංසිඳිවීම සඳහා ද, දුක්ඛ දෝමනස්ස පහ වීම සඳහා ද නුවණ දියුණුවීම සඳහා ද, උතුම් නිවන ප්‍රත්‍යක්ෂ වීම සදහා ද සිහිය පිහිටුවා ගත යුතු වේ යැයි වදාළහ. සිහිය පිහිටුවා ගැනීම සතර ආකාරයකින් සිදු කළ යුතු බව ‘සතිපට්ඨාන’ සූත්‍රයේ විස්තර කරයි. එනම්
1. කය අනුව බලමින් සිහිය පිහිටුවා ගැනීම (කායානුපස්සනාව)
2. වේදනාව නොහොත් දැනීම අනුව බලමින් සිහිය පවත්වා ගැනීම (වේදනානුපස්සනාව)
3. සිත අනුව සිහිය යොමුකැර ගනිමින් කටයුතු කිරීම (චිත්තානුපස්සනාව)
4. ධර්මය අනුව සිත යොමු කැරෙමින් සිහිය පිහිටුවා ගැනීම (ධම්මානුපස්සනාව) මෙම කොටස් හතර නැවැත කොටස් කිහිපයකට බෙදා වෙන් කළ හැකි ය. එනම්,
1. ආශ්වාස ප්‍රශ්වාස අනුව සිහිය පවත්වා ගැනීම
2. යෑම්, ඊම්, ඉඳීම්, සිටීම්, වැනි ඉරියව් අනුව සිහිය පවත්වා ගැනීම
3. සතරමහා භූතයන් අනුව එනම්, පඨවි, ආපෝ, තේජෝ , වායෝ යන ධාතූ®න් අනුව සිහිය පවත්වා ගැනීම
4. උද්යුවාතක, විනීලක, විචිඡිද්දක, විපුබ්බක, ආදී නව සීවථිකයන් අනුවැ සිහිය පිහිටුවා ගැනීම
කායානුපස්සනා භාවනාවේදී මෙම ප්‍රභේද කිහිපය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. මෙහිදී විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කැරවීමට බලාපොරොත්තු වන්නේ කය අනුවැ සිහිය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳවයි.
‘ඉධ භික්ඛවේ භික්ඛූ අරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, සුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං...’ භික්ෂූන් වහන්සේ නොහොත් යෝගාවචරයා ආරණ්‍යයකට හෝ වෘක්ෂ මූලයකට, මහජනයා නොමැති ස්ථානයකට ගොස් පලක් බැඳ ශරීරය සෘජුව තබාගෙන සිහිය කය කෙරෙහි යොමුකැරගෙන කය අනුවැ බලයි. එනම්, ඇස් ඇති මිනිසෙක් නොයෙකුත් ධාන්‍යවලින් පිරී ගිය මල්ලක තිබෙන ධාන්‍ය වර්ග වෙන වෙනම හඳුනා ගන්නා සේ එපරිද්දෙන්ම යටි පතුලෙන් උඩ කෙස් කළඹෙන් යට, සම කෙළවර කොට ඇති නා නා ප්‍රකාර අසුචියෙන් පිරුණු මල්ලක් බඳු මෙම ශරීරය පිළිබඳ සිහි කරයි. එසේ සිහියෙන් බලන තැනැත්තාට පිළිකුල් සහගත කුණප ;කාට්ඨාස තිස් දෙකක් දැකිය හැකි ය. එනම්,
1. කෙස්, 2. ලොම්, 3. නිය, 4. දත්, 5. සම, 6. මස්පිඬු, 7. නහරවැල්, 8. ඇට, 9. ඇටමිඳුළු, 10. පෙනහලු, 11. හදමස, 12. අක්මාව, 13. දළඹුව, 14. බඩ දිව, 15. පපුමස, 16. අතුණුබහත්, 17. අනුබහනය, 18.නොපැසුණු ආහාර, 19. පැසුණු ආහාර, 20. පිත, 21. සෙම, 22. සැරව, 23. ලෙය, 24. ඩහදිය, 25. මේදය, 26. කඳුළු, 27. වුරුණු තෙල, 28. කෙළ ,29. සොටු, 30. සඳමිදුළු, 31. මුත්‍රා, 32. වකුගඩු යන මේ කොටස් තිස් දෙකය.
මෙම කුණප කොට්ඨාස තිස් දෙකකින් යුතු තමාගේ හෝ වෙනත් අයකුගේ ශරීරය පිළිබඳ මෙනෙහි කැරෙමින් එනම් ඉපදීම, ස්වභාවය කොටැ, විනාශවීම ස්වභාව කොටැ, ඇතැයි සිහිය පිහිටුවාගෙන කටයුතු කරයි නම් හෙතෙම රූපය ආදී කිසිවක් ආත්මය වශයෙන් නොගනියි. එසේම යමෙක් මෙම ශරීරය ධාතු වශයෙන් ගෙන බලයි නම් එනම් මේ ශරීරයේ පඨවි ධාතු ඇත. ආපෝ ධාතුව ඇත. තේජෝ ධාතුව ඇත. වායෝ ධාතුව ඇත. මෙසේ සිරුරෙහි පිහිටි ධාතු කොටස් වෙන වෙනම ගෙනැ මෙනෙහි කරන පුද්ගලයා යම් සේ ගව ඝාතනයකු හෝ ඔහුගේ අතවැසියෙන් ගවයෙකු ඝාතනය කර මාංශ කොටස් වෙන වෙනම වෙන්කැර ගන්නා ලෙස මෙම ශරීරය ධාතු වශයෙන් ගොනැ බලයි. මෙසේ ධාතු වශයෙන් බලන යෝගාවචරයාට තම සිරුරෙහි ඉපැදීම විනාශ වීම පිළිබඳ සිහිය පිහිටයි. එවිට එම යෝගාවචරයා තෘෂ්ණා ආදී වශයෙන් ශරීරය නොගනියි. රූපය පිළිබඳ ආත්ම වශයෙන් නොගනියි. මගේම කියමින් ආත්ම තෘෂ්ණාවෙන් යුක්තවැ දිවා රැය නොයෙක් රැකියා කරමින් පෝෂණය කරන්නේ, සැරසිලි කරන්නේ, ඉතා දුර්ගන්ධයෙන් යුතු කුණප දෙතිසකින් සමන්විත කුණු ගොඩකි. අසුචි ගොඩකි. මෙම අසාරත්වය වැටහෙන්නේ කය පිළිබඳ නුවණින් කල්පනා කරන යෝගාවචරයාට යි.
නැවත ද කිසියම් යෝගාවචරයකු සොහොනෙහි දමන ලද මියගොස් දිනක් ගත වූ, දින දෙකක් ගත වූ දින තුනක් ගත වූ ඉදිමුණු, නිල් පැහැ ගැණුනු, නව දොරින් ඕජස් වැගිරෙන, මළ සිරුරක් දකියි ද හෙතෙම තම සිරුරද එලෙසමැ ඉදිමෙන, කුණුවන, ඕජස් ගලන ස්වභාවය කොට මැ ඇත්තේ ය. තම ශරීරයද මළ සිරුර සමඟ සන්සන්දනය කැර නුවණින් බලයි. මෙලෙස මෙනෙහි කිරීම මගින් ඔහුට තෘෂ්ණාදී හැඟීම් නොඉපදෙයි. ස්කන්ධ ලෝකයෙහි කිසිවක් දැඩි වැ නොගනියි.
මේ අයුරින්මැ සොහොනෙහි දමන ලද කවුඩුවන් විසින් අනුභව කරන මස්, ලේ, සහිත වූ නහර වලින් බැඳුනා වූ, ඇට සැකිල්ලක් බවට පත් වුනා වූ, මෘත ශරීරයක් දකින පුද්ගලයා, තම ශරීරයද මෙම තත්ත්වයට පත් වන්නේයයි මෙනෙහි කරයි. එසේම සොහොනෙහි දමන ලද මස්, ලෙය ඉවත්වැ ගිය නහර වලින් බැදුනා වූ ඇට සැකිල්ලක් බවට පත් වූ සිරුරක් ද, නහරවැල් ඉවත්වැ ගිය ඇට කැබලි විසිරුණා වූ සිරුරක් ද, සුදු පැහැ ගැනුනු, ඇට කැබලි තැන තැන විසිරුණා වූ සිරුරක් ද වසර ගණනක් ගතවුණ ඇට කැබලි දිරාගොස් සිහින් කැබලි බවට පත් වූ සිරුරක් ආදී වශයෙන් විවිධ ස්වරූපයෙන් දැකිය හැකි හැම විටකම තම ශරීරය ද මෙබඳු තත්ත්වයට පත් වන්නේ ය යනුවෙන් එහි උත්පත්ති ස්වභාවය, විනාශ වන ස්වභාවය සමඟ සංසන්දනාත්මකවැ මෙනෙහි කරයි. මෙලෙස මෙනෙහි කරන ගිහි හෝ පැවිදි යෝගවචරයාට නුවණ වැඩීම පිණිස ද ස්මෘතිය දියුණුවීම පිණිස ද ආත්ම තෘෂ්ණාව දුරුවීම පිණිස ද එකරුණ හේතුවෙයි.
සොහොනෙහි දමන ලද මළ සිරුරු විවිධාකාරයෙන් වෙනස් වෙයි. මෙකල අපට සොහොනෙහි දැමූ මළ සිරුරු දැක ගැනීමට අපහසුය. නරක් නොවෙන පරිදි බෙහෙත් ගල්වා සකස් කැරෙන බැවින් පිළිකුල් සහගත තත්ත්වයක් දැකීමට නොහැකි ය. එහෙත් මළ සිරුරක ස්වභාවය සිතින් මවා ගැනීමෙහි අපහසුතාවයක් නැත. කායානුපස්සනාව වැඩීමට අදහස් කැරෙන ඔබගේ පහසුව පිණිස ‘නව සීවථිකය’ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරමි. ‘නවසීථික’ යනු සොහොනට කියන නමකි. අවමංගල අවස්ථාවකදී වූව මෙම නව සීවථිකය ගැන සිහියට නගා ගැනීම අපහසු නැත.
මියගොස් දින දෙක තුනක් ගත වූ ඉදිමී, නිල් පැහැ ගැනුණු නව දොරින් ඕජස් ගලන්නා වූ මළසිරුරු, කවුඩුවන්, උකුස්සන්, ගිජු ලිහිණියන්, සුනඛයන්, සිවලුන් ආදී සතුන් උදරය පලා, අකුණුබහන්, ඇස්, කන්, ආදී ඉන්ද්‍රිය කා දමන, කුණු වී ගිය මස් ලෙස සහිත නහර වැලින් බැඳුණු ඇටසැකිල්ලක් බවට පත් වූ මෘත ශරීරයද මස් දියවැ ගිය පසුද වියළී නොගිය ලෙයින් යුක්ත නහරින් බැඳුණු ඇටසැකිල්ලක් බවට පත් වූ මළ සිරුර ද, නහරවැල් ඉවත් වූ විවිධ දිශාවලට විසිරී ගිය අත් ඇට, පා ඇට, හිස් කබල කලවා ඇට, කෙණ්ඩා ඇට, ආදියෙන් යුතු මෘත ශරීරය ද වසරක් පමණ පරණ වූ අව් වැසිවලට ගොදුරු වීමෙන් අවපැහැ ගැන් වූ පණුවන් ගැවසී ගත් ඇටකැබලි බවට පත් වූ මළ සිරුරද, සුණු විසුණුවැ ඉතා සියුම් කැබලි බවට පත් වූ මෘත ශරීරය ද යන මෙම නව වැදෑරුම් මෘත ශරීර නොහොත් සීවථික පිළිබඳ සිහිය ඇති කරගත යුතුය.
ඒක ධම්මෝ භාක්ඛවේ භිවිතො බහුලීකතෝ මහන්තෝ සංවේගාය, සංවත්තතී, මහන්තෝ අත්ථාය, යෝගක්ඛේමාය... සති සම්පජඤ්ඤාය...ඤාණ දස්සන පටිලාභාය... දිට්ඨ ධම්ම සුඛ විහාරාය... විජ්ජා විමුක්තිඵල සච්ඡිකිරියාය සංවත්තංති. කතමෝ ඒක ධම්මෝ? කායගතාසති (අං. නිකාය ඒකක නිපාතය)
‘මහණෙනි, එක් ධර්මයක් භාවිත වශයෙන් වඩනා ලද්දේ ද, යළි යළි පුහුණු කරන ලද්දේ ද, මහත් සංවේගය පිණිස පවතියි. සිහිය සහ ඤාණය ලැබීම පිණිස පවතියි. නිවන ලැබීම පිණිස පවතියි. ලෝකෝත්තර මාර්ගයට පත් කැරෙන අවසන් විදසුන් නුවණ වන ඤාණ දර්ශන විසුද්ධිය ලැබීම පිණිස පවතියි. අරහත් ඵලය අවබෝධය පිණිස පවතියි. කිනම් එක් ධර්මයක්ද යත්? කායගතාසතියයි.
එසේම යමෙක් කායගතාසති භාවනාව වැඩීම නොකරයි නම්, හෙතෙම නිර්වාණය නමැති අමෘතය පරිභෝග නොකරයි. යමෙක් කායගතාසති භාවනාව වඩයි නම් හෙතෙම නිර්මාණය නමැති අමෘතය පානය කරයි. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා භාවනාව වැඩීමේ ආනිශංස පිළිබඳ ත්‍රිපිටකයට අයත් අංගුත්තර නිකායේ ඒකක නිපාතයට ඇතුළත් සූත්‍ර ගණනාවක් මගින් පෙන්වා වදාළහ.
තස්මා භවේ අප්පමත්තෝ
අනුයුඤ්ජේථ පණ්ඩිතෝ
ඒවං අනේකානිසංසං
ඉමං කාය ගතා සතිං
එබැවින් නුවණැති ඔබත් අප්‍රමාණ ආනිශංස ගෙන දෙන කායගතාසති භාවනාවෙහි නිරත වනු මැනවි.
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර, මාධ්‍ය කලාකීර්ති
නාලන්දේ විමලවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ
අගෝස්තු මස 24 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment