Labels

Thursday, August 13, 2015

භාවනාවේ මනෝ විද්‍යාත්මක වැදගත්කම


බුදුදහම කායික හා මානසික යහපැවැත්ම පිළිබඳ ඉගැන්වීම් වලින් පරිපූර්ණ ය. එහි ඉගැන්වෙන භාවනා මගින් ලබා ගත හැකි කායික මෙන්ම මානසික වාසි අපමණ ය. බුදු දහමේ සමථ හා විදර්ශනා වශයෙන් භාවනා ක්‍රම 02 කි. මෙයින් සමථ භාවනාව කෙරෙහි අවධානය යොමු කරමින් එයින් පුද්ගලයාට ලෞකික වශයෙන් ලැබිය හැකි වාසි මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි
.
වර්තමාන සමාජය ඉතා ක්ලමථකාරි (මානසික පීඩනයෙන් යුතු) ය. මේ නිසා කායික හා මානසික පීඩා බහුල ය. මිනිසා නිතර වෙහෙසෙන්නේ අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීමේ අරමුණ නිසා ය. රැකියාවල නියුතුවීම, විභාග වලට පෙනී සිටීම, වාහන මිලදී ගැනීම, ණය වීම, දරුවන් ඇතිදැඩි කිරීම ආදි සියල්ල ඒ අතර වේ. බලාපොරොත්තු ඉටුකර ගැනීමේ අරමුණු කරා ළඟවීමේ දී ඇති වන බාධාවන්හි දී අපි මානසික පීඩනයට පත් වෙමු. මෙවැනි විටෙක සමථ භාවනාව ඉතා ප්‍රයෝජනවත් වේ. පුද්ගලයාට අනාගතය පිළිබඳ වෙහෙසකාරී හැඟීම් වලින් මිදි වර්තමානයේ ජීවත්වීමට අවස්ථාව එයින් උදා කැරේ.
බුදුදහමට අනුව සමථ භාවනාවෙන් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්ච, විවිකිච්ඡා යන නීවරණ යටපත් කිරීම සිදු වෙයි. කායික අපිරිසුදුකම ශරීරය ලෙඩ වීමට බලපාන්නා සේ ම නීවරණ නිසා සිත අපිරිසුදු වී සිත ලෙඩ කරවයි.
එබැවින් භාවනාව කායික හා මානසික නිරෝගිභාවයට අත්‍යවශ්‍ය ය. විෂාදය, හෘද රෝග, වේදනා රුධිර පීඩනය, පිළිකා නිදාගැනීමේ අපහසුතා හා චර්ම රෝග වැනි රෝගී තත්ත්වලින් සහනය ලැබීමට භාවනාව උපකාරී වෙයි.
අතීතයේ අත්දුටු අමිහිරි අනුභූ®තීන් නිසා දැනුම් අය නිතර ශෝකීය, දුක්බරව කාලය ගෙවයි. එවැනි විටෙක අසරණ බව බලාපොරොත්තු රහිත බව හා හුදෙකලා බව වැනි තත්ත්වය නිසා එම තත්ත්වය ඇතිවෙයි.
මෙවැනි හැඟීම් වලින් මිදීමේ හැකියාව භාවනාවෙන් ලබාගත හැකි ය. එමඟින් පුද්ගලයා තුළ ආත්ම විශ්වාසය ඇති කරයි. අවධානය සිහිය දියුණු වීම නිසා යහපත් මානසික තත්ත්වයක් ඇතිකරයි. ඒ අනුව සෞඛ්‍ය සම්පන්න නොවන චිත්තවේගී තත්ත්වය නැතිකර ගැනීමටත්, මනසට බලපෑම් කිරීමටත්, භාවනාවෙන් හැකියාව ලැබේ.
භාවනාව අන්තර් පුද්ගල සම්බන්ධතා විධිමත් කරයි. පුද්ගල සම්බන්ධතා කෙරෙහි අයහපත් ලෙස බලපාන අයහපත් මානසික තත්ත්ව (චිත්තවේග) පාලනය කිරීමේ හැකියාව ලැබීම නිසා අන්‍යයන් සමඟ ඇතිකර ගන්නා ගැටුම් අවම වීම එයින් සිදුවෙයි. සිත විසිර යා නොදී එක් අරමුණක පිහිටුවා ගැනීමේ හැකියාව වර්ධනය වීම, අධ්‍යයන කටයුතු ද ඉතා සාර්ථක කර ගැනීමට හේතු වෙයි. එමගින් අවධානය හා මතක ශක්තිය වර්ධනය වෙයි. එමෙන්ම සවන් දීමේ හැකියාව, අනුකම්පාව සහයෝගිතාව සහ තවත් සාමාජීය කුසලතා රැසක් භාවනාවෙන් වර්ධනය වෙයි. ගැටලු විසඳීමේ කුසලතා සහන නිර්මාණශීලිත්වය ද භාවනාව නිසා වර්ධනය වනු ඇත.
චිත්තවේග පීඩා ඇතිවිට සුවබර නින්දක් ලැබීමට නොහැකි ය. භාවනා නිසා ශරීරය මෙන්ම මනස ද ඉතා සංයමයට පත්වෙයි. එවැනි විටෙක නින්ද සම්බන්ධ ගැටලුවලින් තොරව සුව නින්දක් ලැබිය හැකි ය.
කෙනකුගේ මහන්සියේ විඩාවේ තරම ඔහු ලැබිය යුතු නින්දේ කාලය වෙයි. භාවනාවෙන් කායික මානසික විඩාව ද අඩුකර ගත හැකිවීමෙන් නින්දේ කාලය ද පාලනය කළ හැකි වෙයි. මීට අමතරව, නින්ද අතරතුර නපුරු සිහින නොපෙනීමටත් සුවසේ පිබිදීමටත් භාවනාව (මෛත්‍රී භාවනාව) උපකාරී වෙයි.
භාවනාව මගින් පුද්ගලයාට තමා පිළිබඳ තේරුම් ගැනීමට හැකියාව ලැබෙයි. තම කායික හා මානසික තත්ත්ව කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඒ ගැන අවබෝධය ලැබෙයි. එමගින් තමන් කවරාකාරදැයි හඳුනා ගත හැකි ය. එම හඳුනා ගැනීම, බොහෝ අවස්ථාවලදී ක්‍රියාකළ යුතු ආකාරය තීරණය කිරීමට හා තමන් තුළ සිදුවන කායික හා මානසික වෙනස්කම් ඉවසා සිටීමට ද රුකුලකි.
භාවනාවෙන් ශරීරයට ලැබෙන ප්‍රයෝජන ද අපමණ ය. හෘද ස්පන්දනය ක්‍රමාණුකූල වීම, ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ක්‍රමානුකූල වීම, රුධිර සංසරණය ක්‍රමානුකූ®ල වීම හා මොළයේ ස්නායු සෛල සක්‍රීය වීම ආදිය එමගින් සිදුවෙයි.
ඉහත සඳහන් කර ඇත්තේ භාවනාවෙන් ලද හැකි ප්‍රයෝජන කිහිපයකි.
වර්තමාන පුද්ගලයා විවිධ කායික හා මානසික පීඩා හා රෝගී තත්ත්ව නිසා දුක් විඳියි. විවිධ ප්‍රතිකාර ලබාගනියි.
භාවනාව කයට මෙන්ම මනසට ද හොඳ ඔසුවකි. එය පුරුදු පුහුණු කරමින් ජීවිතයට එක් කර ගැනීම එබැවින් ඉතා වැදගත් වෙයි.

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන හා මනෝ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය කථිකාචාර්ය
කුඹුකන්දන රේවත හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ අගෝස්තු මස 24 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

2 comments: