Labels

Monday, August 17, 2015

පංචශීලය





සීලයේ විශේෂයෙන්ම ගතහැකි අරුත වනුයේ ආරක්ෂා වීම, ආරක්ෂා කර ගැනීම බව සඳහන් කළ හැක. ගිහියාගේ මූලික අඩිතාලම පන්සිල් ය.

එය අංශ දෙකකින් පිරික්සිය හැකිය. එය සමාජ සුහදතාවට විශ්වාසයට, ගෞරවයට හේතු වන්නේ කෙසේද සමාජ සම්බන්ධතාවන්ගේ වර්ධනයට උපකාර වන්නේ කෙසේද යන්න එක් අංශයකි. අනික අපේ විමුක්ති ගමනේදී එය පදනම වශයෙන් සිටින්නේ කෙසේද යන්නය.
මේ පන්සිල් සමාදන් වීම කෙරෙන්නේ ස්වේච්ඡාවෙනි. ඒවා දේව නියමයන් නොවන හේතුවෙනි. පන්සිල් සමාදන් වී ඒවා අනුව චර්යාව සකසා ගතයුත්තේ බිය නිසා නොව ඉන් වන යහපත සලකා එය අවබෝධ කොටගෙනය. පන්සිල් අනුව ජීවිතය සකසා ගැනීමෙන් කෙනෙකුගේ ජීවිතය “අරිය” නැතහොත් උතුම් තත්ත්වයට පත්කොට ගත හැකිය. පන්සිල් ඉදිරිපත් කෙරෙන්නේ කෙනෙකු විසින් නොකළ යුතු ක්‍රියාවන් මොනවාද යන්න හුවා දැක්වෙන අයුරිනි.
නමුත් පන්සිල් නියමයන් ලෙස සැලකිය යුතු නැත. නොකළ යුතු දේ ගැන මෙන්ම කළ යුතු දේ ගැනද බුදු දහම අවධාරණය කොට දක්වයි. දානය, කරුණාව, මුදිතාව, නෙක්කම්මය සන්තුෂ්ටිය, සත්‍යවාදී බව සතිසම්පජානය ආදිය ප්‍රතිජානන ගුණාංග වශයෙන් පන්සිල් පද මගින් නොකළ යුතු යයි නම් කෙරෙන ක්‍රියාවන්ට ප්‍රතිපක්ෂ වූ උතුම් ගුණාංග වශයෙන් සැලකිය යුතුය. ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා ජීවිත විනාශ කිරීම, වධ හිංසා කිරීම ආදියෙන් මිදී සිටින අතර සිතේ ඇති ද්වේෂය වෛරය ආදියද නැති කොට පහකර දැමිය යුතුය. එලෙසම අන් අයට ජීවිත ආරක්ෂාව සතුටින් ජීවත් වීමේ අවස්ථා සැලසීමට කළ හැකි සියලු දේ කළ යුතුය. සොරකම් නොකර සිටින අතර සිතෙන් ලෝභය දුරු කළ යුතුය. අන්සතු දේ පිළිබඳව මෙන් තමන් සතු දේ පිළිබඳවද, ඇති ඇලීම බැඳීම ක්‍රමයෙන් අඩුකර අවසානයේ සියල්ල අත්හැරීම පිණිස පිණිස සිත සකසා ගත යුතුය. කාමයෙහි වරදවා නොහැසිරෙන අතර කම්සැප වලට ඇති ගිජු බව නැති කරගෙන ස්වකීය භාර්යාවගේ ඇසුරින් තෘප්තිමත් වීමට පුරුදු විය යුතුය.
බොරු කීමෙන් වැලකෙන අතර සත්‍යය කතා කිරීම ප්‍රගුණ කළ යුතුය. මත්ද්‍රව්‍ය පාවිච්චිය ආදී කෘතීම, අයහපත් මාර්ගයන්ගෙන් මානසික සංත්ෂෝභය කර ගැනීමෙන් මිදී සතිය සම්පජානය වර්ධනය කළ යුතුය. පන්සිල් අනුව ජීවිතය සකසා ගැනීම කෙනෙකු අකර්මන්‍ය කිරීමට, ඔහු තුළ ප්‍රතිෂේධාත්මක ආකල්ප ජනිත කිරීමට ඔහුව සමාජ ජීවිතයෙන් ඈත් කිරීමට හේතු නොවන බව ඉහත කී ආර්ය ගුණාංග මනාව අවබෝධ කොට ගෙන ඒවා ක්‍රියාවට නැංවීමේදී පැහැදිලි වනු ඇත. එපමණක් නොව පන්සිල් සුරකිමින් එම ආර්ය ගුණාංග ප්‍රගුණ කිරීම චරිත වර්ධනයට, පෞරුෂ පෝෂණයට මෙත් සිත් සතන් කරුණාවෙන් මානවදයාවෙන්,, පරාර්ථකාමී හැගීම් වලින් පුරවා සදාචාර ගුණාංගයන්ගෙන් සුරක්ෂිත පුද්ගලයෙකු බිහි කිරීමට හේතු වන බව ඒකාන්තය.
ශික්ෂා පද විශේෂයෙන්ම පන්සිල් බෞද්ධ සදාචාරයේ මූලිකාංගයෝය. එහි ප්‍රධාන අරමුණ තුන් දොරින් සිදුවන ක්‍රියා සංවර කිරීමට අනුබල දීමය. මෙය සිත දියුණු කිරීමට අවශ්‍ය පදනම සපයයි. භාවනාව ඵලවත් වන්නේ සීලයෙහි පිහිටා එය පටන් ගත් විටය.


2013 අප්‍රේල් මස 24 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment