Labels

Tuesday, November 28, 2017

දුකෙන් එතෙර වන්නට නම් උපන්නාට ජීවත් නොවී .

“අනේක ජාති සංසාරං . . .” මේ පළමු බුදු වදනයි. එහි ගැබ්ව ඇති තේරුම සමහරකුට නම් තේරෙන්නේ නැතුවා වගෙයි. තවත් සමහරකුට තේරුණත් නොතේරුණා වගෙයි වැඩ. ඇත්තටම මොකක් ද එදා බුදු සමිඳු ඔබට පැහැදිලි කළේ.


ආත්මභාවය නමැති ගෙය හදමින් භවයෙන් භවයට සත්ත්වයන් ගෙනයමින්, අනන්ත දුක්ඛ දෝමනස්සයන්ට පමුණුවන මේ විස්මිත ගෘහකාරකයා කවරෙක්දැයි සොයමින්, තමන් අනන්ත දීර්ඝ කාලයක් සසර ගමන් කළ බවත්, උතුම් වූ සම්‍යක් සම්බෝධියට පත්වීමෙන් පසු එය සොයා ගැනීමට හැකි වූ බවත් එම ගාථාවෙන් කියවෙයි.

Monday, November 27, 2017

සත් පුරුෂ ඇසුරෙන් දරුවන් විනය ගරුක වේ

සත්තිගුම්භ ජාතකය


දෙව්දත් තෙරුන් විසින් බුදුරදුන් නැසීම පිණිස ගිජුකුළු පව්වේ සිට ගලක් පෙරලීමේ සිද්ධිය පසුබිම් කර ගෙන භික්ෂූන් අතර ඇති වූ කතිකාව මුල් කොටගෙන භාග්‍යවතුන් වහන්සේ මෙම සත්තිගුම්භ ජාතකය දේශනා කොට වදාළහ. යටගිය දවස උත්තර පඤ්චාල නම් නුවර පඤ්චාල නම් රජෙකු දැහැමින් රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ එක්තරා ගිරා රජෙකුට පුත්ව උපන්නේය. බෝසත් ගිරවාට පසුකලෙක සහෝදරයෝ දෙදෙනෙක් ද වූහ. ඔවුන් වාසය කළ ආරණ්‍යයෙහි ඉහළ ප්‍රදේශයේ සොරුන් පන්සියයක් වාසය කරන එක්තරා ගමක් ද පහළ ප්‍රදේශයේ පන්සියයක් තාපසවරුන් වාසය කළ තාපසාරාමයක් ද පිහිටා තිබුණි.
එක් දිනක වේගයෙන් හමා ගිය දැඩි සුළගක් හේතුවෙන් එක් ගිරා පැටවෙකු ගසාගෙන ගොස් සොරුන්ගේ ආයුධ මත්තෙහි වැටුණ අතර සොරු ඌ රැගෙන සත්තිගුම්භ යනුවෙන් නම්කොට තමා සන්තකයේ තබාගෙන පෝෂණය කළහ. අනෙක් ගිරා පැටවා සුළඟින් ගසාගෙන ගොස් තාපසයන් වාසය කළ ආරාමයෙහි මල් ගොඩක් මතට වැටුණ හෙයින් තාපසවරු ඌ රැගෙන පුෂ්පක යැයි නම් කොට පෝෂණය කළහ. මෙසේ ගිරා පෝතකයන් දෙදෙනා වැඩෙන කල්හී පඤ්චාල රජු එක් දිනක් මුවන් දඩයම් කිරීම පිණිස වනයට ගියේ, පිළිවෙලින් එම සොරුන් වසන ග්‍රාමයට පැමිණ ගමන් වෙහෙස දුරුකරගැනීම උදෙසා එක්තරා ගසක් මුල නිදාගත්තේ ය.

ඇලෙන ගැටෙන ලොවක සැපත සෙවීම

ආර්ය පර්යේෂණ සූත්‍රය

" ඇලෙන, ගැටෙන, හඬන, වැළපෙන ලෝකයක සැපත සෙවීම මිරිඟුවක් බව බෝධිසත්වයන් වහන්සේ මැනවින් තේරුම් ගත් බව පැහැදිලියි. මේ නිසා පැවිදි රුව කෙරෙහි සිත් අලවාගත් බෝධිසත්වයන් වහන්සේ ආර්ය පර්යේෂණයේ ඵලය ලබන්නට මේ නියම මාර්ගය බවට හේතු සාධක සොයා ගත් බව පැහැදිලියි.
"
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, සිද්ධාර්ථ කුමාර අවධියේ දී උයනට යන මොහොතේ දී ලෙඩෙක්, මහලු වූ අයෙක්, මළ සිරුරක් හා පැවිදි රුවක් දුටු අවස්ථාව, සතර පෙර නිමිති දැකීම ලෙසින් ධර්ම කතාවේ සඳහන් වේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙහි ආදීනව දැක හා දැන ඒවායින් නිදහස් වෙන්නට සොයමින් සිටින සිදුහත් මහ බෝසත්තුමාට ගිලන් වූ අයෙක්, දැක ගැනීමෙන් තමන්ගේ ආර්ය පර්යේෂණයට බොහෝ ම යහපත් වූ කරුණු රාශියක් එකතු වුණා.
දැනට තමන් ඉතා තරුණ වයසේ එනම් නව යෞවන වයසේ, ගිලන් නොවී, සිටියත් අර රෝගී වූ පුද්ගලයාගේ ස්වභාවයට කෙදිනක හෝ කුමන මොහොතක හෝ අනිවාර්යයෙන් ම මමත් පත්වෙන බව වටහා ගත්තා. “කුමන ආකාරයක පෙනුමකින්, වර්ණයකින්, සැපයකින් හා ශාරීරික ශක්තියකින් කාලය ගත කළත් මේ ශරීර කූඩුවේ ස්වභාවය ලෙඩදුක්වලට උරුමයි. ගිලන් ව, වෙව්ලමින්, සැරයටියක් අතට ගෙන තුවාලයන්ගෙන් යුතුව, අපහසුවෙන් ගමන් කරන පුද්ගලයා සේ ම මම ද ඒ ස්වභාවයට පත්වන්නෙමි.” බෝධිසත්වයන් වහන්සේ සොයමින් සිටින ආර්ය පර්යේෂණයට ඉතාම හොඳ උදාහරණ හා කරුණු, තොරතුරු ඒ මඟින් එකතු කර ගත් බව පැහැදිලියි. තමාගේ ආර්ය පර්යේෂණයේ ප්‍රතිඵලය ඉතා යහපත් ලෙස ඇතිකර ගන්නට එය ඉතා ම හොඳ අවස්ථාවකි.

හටගත් සැණින් දුරුකළ යුතු ක්‍රෝධය


" රජතුමාගේ සිත ඒ නාටක ස්ත්‍රිය වෙත ඇදී ගියා. ඔබ ඇය කෙරෙහි වෛර බැඳ ගත්තා. ඇයට ඊර්ෂ්‍යා කළා. ඇයට දුකක්, වේදනාවක් දීමට සිතා ඔබ කහඹිලියා ගෙඩි ගෙනැවිත් කුඩු කොට ක්‍රීඩා කරන විලසින් ඇයගේ ඇඟේ තැවරුවා. හොර රහසේ ම ඈ සැතපෙන යහනේ කහඹිලියා තැවරුවා. ඒ නාටක ස්ත්‍රියගේ සිරුරේ කහඹිලියා කුඩු වැදුණ විගස කසන්නට පටන් ගත්තා."


බුදුරජාණන් වහන්සේ අපගේ සිත දියෙන් ගොඩ දැමූ මාළුවෙකුට උපමා කළා. ඒ සිත නිරන්තරයෙන් අරමුණුවල ඇලෙමින් සහ ගැටෙමින් පවතින නිසයි.

එවන් ස්වභාවයෙන් යුතු අපේ සිත් තුළ විවිධාකාර සිතිවිලි හට ගනී. කුසලයත්, අකුසලයත් හට ගනී. කුසල් සිතක් හටගත් විට අපි පින් රැස් කර ගනිමින් බොහෝ යහපත් දේ කරමු. අකුසල් හට ගත් විට අයහපත් දේ කරමින් බෙහෝ පව් රැස් කරමු. මේ සංසාර ගමනේ අප කුසල්, අකුසල් දෙකම සිදුකර ඇත. කුසලයේ විපාක ලෙස සැපත්, අකුසල් විපාක ලෙස දුකත් උරුම වේ. ඒ ආකාරයට කළ අකුසල විපාක ඉස්මතු වී බොහෝ දුක් විඳි කුමාරිකාවක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ ජීවත් වුණා.

ගලා යන ගඟක් සේනො නැවතී ගමන යන්නේ ය



සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතර කමටහන් භාවනාවක් දේශනා කොට වදාළා. ඒ , බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව සහ මරණසති භාවනාව යි.
මෙලෙස සතර කමටහන් භාවනාවක් අනු දැන වදාළේ ඒ භාවනාව ඉදිරියට දියුණු කිරීමෙන් ආනාපාන සතිය හෝ කවර හෝ භාවනාවක් සාර්ථකව ඉදිරියට ගෙන යන්නට හැකි නිසා ය. මරණය ගැන සිහිය පිහිටුවීම මරණ සති භාවනාව වන අතර මරණය ගැන නැවත නැවත සිහිපත් කිරීම මරණානුස්සතිය යි. තම ජීවිතයට ඇති ආශාව දුරුකර ගෙන සංසාර ගමන පිළිබඳ ඇති දුක පිළිබඳ ව මනා අවබෝධයක් ඇති කර ගන්න. නිවන් සම්පත් ඇති කර ගැනීමට බලවත් කැමැත්තකින් මරණසති භාවනාවෙන් ප්‍රයෝජනය ලබන්න.

ඔබ අර්ධ පර්යංකයෙන් හෝ බද්ධ පර්යංකයෙන් හෝ නැතහොත් පහසු ඉරියව්වකින් වාඩිවී තුනුරුවන් කෙරෙහි ගෞරවයෙන් වැඳ නමස්කාර කරන්න. ඉතිපි සෝ, ස්වාක්ඛාත, සුපටිපන්න ගාථාවන් නැමැඳ , වම් අත්ල මත දකුණු අත්ල තබා ගන්න. දැන් “ජීවිතය අනියත යි ... මරණය නියතයි ...” යනුවෙන් මෙනෙහි කරන්න. මෙලෙස නිබඳව ම මෙනෙහි කර මරණානුස්සති භාවනාව වඩන්නට පුරුදු පුහුණු කළ යුතු යි. මරණ සතිය උපමා සහිතව මෙනෙහි කරන්නේ මෙසේ ය.

Sunday, November 26, 2017

පාරමී බලයෙන් මහ පොළොව කම්පා වෙයි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 08



එදා පටන් සත්‍ය සොයා ගෙන යන ගමනේ දී බෝධි සත්ත්වයන් වහන්සේ අත්තකිලමථානුයෝගය කියන ශරීරයට දැඩි දුක් දීමේ ප්‍රතිපදාව පුරුදු වුණා. ඒ මොකද? ඒ කාලයේ සම්මතයක් තිබුණා ශරීරයට දුක් දීමෙන් තමයි සත්‍ය අවබෝධ වෙන්නේ කියලා. උන්වහන්සේ උරුවෙල් දනව්වට ගිහින් මහා දුෂ්කරක්‍රියාව ආරම්භ කරනවා. අවුරුදු පහකුත් මාස නවයක්. මේ දුෂ්කරක්‍රියාව ආරම්භ කරන කාලයේ උන් වහන්සේට උපස්ථාන කළා. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප,මහානාම, අස්සජි කියල තාපසවරු පස්දෙනෙක්. කොණ්ඩඤ්ඤ තාපසයා කියන්නෙ වෙන කවුරුත් නෙමෙයි එදා නම් තබන අවස්ථාවේ එක ඇඟිල්ලක් ඔසවලා ඒකාන්තයෙන් ම බුදුවෙනවා’ කියලා කිව්ව කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා තමයි කොණ්ඩඤ්ඤ තාපස වෙලා හිටියේ.
ඉතින් උන්වහන්සේ සත්‍ය සොයාගෙන යන ගමනේ දී ආලාරකාලාම, උද්දක රාමපුත්ත යන ගුරුවරු මුණ ගැහුණා. ඒ අයගෙන් ද අට්ඨසමාපත්ති ක්‍රම ඉගෙන ගත්තා. ඒත් ඒ ගුරුවරු ඉන්න කියද්දි එය සත්‍ය නෙමෙයි. නිවන එතන නෙමෙයි තියෙන්නෙ කියල සියල්ලම අත්හැර පැමිණියා.

සිත දකින කැඩපතක් ඇත



නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
යො වේ උප්පත්තිතං කෝධං
රථං භත්තං ච ධාරයේ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ

පින්වත්නි,

අද පෝදා ධර්ම දේශනාව පවත්වන්නේ ධම්මපදයේ කෝධ වග්ගයේ දෙවැනි ගාථාව මාතෘකා කර ගෙන ය. “උපන් කෝපය සන්සිඳුවා ගන්නේ නම් උතුම් රියදුරා ඒ තැනැත්තාය” යන්න ඉහත ගාථාවේ සරල අදහසයි. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කළේ එක්තරා භික්ෂූන්වහන්සේ නමක් සිදුකළ වැරදි ක්‍රියාවක් මුල්කරගෙන ය.
අලව් නුවර අග්ගාලව වෙහෙර වැඩවසන එක්තරා භික්ෂූන්වහන්සේ නමකට ඒ නුවර ආසන්නයේ සේනාසනයක් සැකසීමට සිතුණි. එහෙත් මෙම භික්ෂූන් වහන්සේ පිළිබඳ මිනිසුන් අතර හැඳීනීමක් නැත. එහෙයින් සේනාසනය සැකසීමට තමන්ට උදව්වට කිසිවෙක් නොපැමිණියහ. තමන්ටම සියල්ල කරගැනීමට සිදුවිය. සෙනසුන සැකසීමට අදහස් කළ ස්ථානයේ හොඳින් වැඩුණ ගසකි. ලී දඬු ලබා ගැනීමට මේ ගස යහපත් යැයි සිතා තමන් ම ගස කැපීමට ආරම්භ කළේ ය. මේ ගස විමානය කරගත් දේවතාවියක් ගස නොකපන ලෙස ඉල්ලා සිටියා ය. ඒ භික්ෂුව එයට කන් නොදී ගස කැපීමට පටන් ගත්තේ ය. මේ දරු පැටියා වඩාගෙන තමන්ට යා හැකි තැනක් නැති බැවින් ‘ගස නොකපන ලෙස නැවතත් ඇය ඉල්ලා සිටියා ය. එයට ද ඇහුන්කන් නොදීම හේතුවෙන් දේවතාවිය තම දරුපැටවා රුක් ශාඛාවේ නිදි කරවී ය. ඔසවාගත් පොරවේ වේගය අඩුකර ගැනීමට නොහැකිවූයෙන් බිළිඳාගේ අතක් තුවාල විය.

යහපත් පවුලක සාර්ථක අත්තිවාරම

පරිත්‍යාගශීලී වීමට , කැපකිරීමට,අතහැරීමට,ප්‍රදානය කිරීමට, බිරිඳ සහ සැමියා එක හා සමානව ශක්තිසම්පන්න විය යුතුය. ,තමන්ගේ පැත්තෙන් අතහැරිමට අකැමැති ව ඉඳිමින් අනෙක් පුද්ගලයාගෙන් පමණක් එය බලාපොරොත්තු වීම සාධාරණ නැත. තමාගේ ආකාරයට අනෙකා ගොඩනැඟිය යුතු බවට විශ්වාස කිරීම සුදුසු ද ? එවැනි ගෙවල් යහපත් ස්ථාන බවට පත්කළ නොහැකිය. ගෙයක් ඇතුළත යහපත් ලෙස දියුණු වීමට අවශ්‍ය නම්,දරුවන් මව්පියන් වෙනුවෙන් කැපකිරීම් කළ යුතු ය.

මව්පියන් දරුවන් වෙනුවෙන් කැපකිරීම් කළ යුතු ය. එම අතහැරීම හෝ එම කැපකිරීම කළ නොහැකි නම්, එවැනි ස්ථානයන්හි කිසිදු දෙයක් රැස්වන්නේ නැත. අස්කළ විට රැස්වෙන බව මතක තබාගත යුතුයි. ළිඳ ඉස්ස ගමන් දින දෙකක් යන විට ළිඳ අලුත් වතුරෙන් පිරී යයි. ඉසීමට භාජනය නොකළ ළිඳක වතුර ප්‍රමාණය එලෙස ම රැඳී පවතී. අස් කළොත් රැස් වෙයි. කැපවීමක් කළහොත් කැපවීමක් ලැබෙයි. පරිත්‍යාගශීලි වුවහොත් පරිත්‍යාගයක් ලැබෙයි. දුන්නොත් ලැබෙයි. එම නිසා සමත්‍යාග විය යුතු බවට බුදු දහම පෙන්වා දෙයි.

Wednesday, November 22, 2017

අත්වැලක් නොමැතිව ඉහළට එන්න අධිෂ්ඨාන කරගන්න


යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චා සෝ නපය මජ්ජති සෝ ඉමං ලෝකං පබාසේති අබ්භා මුත්තෝච චන්දිමා 
මේ බුදුපියාණන් වහන්සේ වදාළ ජීවිතයක පසුතැවීමයි. අතෘප්තිකර භාවයයි. ජීවිතයක් තුළ විවිධ හේතුත්පාදක නිසාවෙන් අතෘප්තිය ඇති වෙන්නට පුළුවන්.
ඇතැම් විට තමන්ගෙ අපේක්ෂාවන් බලාපොරොත්තු තමන්ටම සපල කරගත නොහැකි නම් පළිගැනීමට හිතෙනවා.
පළිගැනීමේ සිතිවිල්ල
එසේත් නැති නම් යමෙක් එම බලාපොරොත්තු පූර්ණය කර දෙන්නේ නැති නම් පළිගැනීමේ සිතිවිල්ල හිතට එනවා. අපි හිතමු යමෙක් තව කෙනෙකුගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා කියලා. මාපිය ආදරය දරුවෝ බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ ආදරය මාපියෝ බලාපොරොත්තු වෙනවා. පෙම්වතා පෙම්වතිය, යහළු යෙහෙළියන් මේ වගේ විවිධ සමාජ සම්බන්ධතා ඇතුළේ කිසිවකු කිසිවක් බලාපොරොත්තු වෙනවා.

Tuesday, November 21, 2017

පර්වතයක් වගේ සිරුරක් ... (සීහළවත්ථු කතා 1 )

විපාකය නම් පලදීම යි. එය කුසල විපාකයක් විය හැකියි. එසේ නැතිනම් අකුසල විපාක විය හැකියි. පේ‍්‍රත ලෝකයේ උපන් පේ‍්‍රතයන්ට වෙන් වූ වෙනත් ලෝකයක් නැත. ඔවුහු අඳුරු ස්ථානවල, අරණ්‍ය,පර්වත ආදී වූ කිසියම් තැනක ඕපපාතික ව උපදිති. ප්‍රේත ලෝකයේ ඉපදෙන්නෝ බොහෝ විට සා පිපාසයෙන් පෙළෙන බව සඳහන් වේ. මේ, මීට බොහෝ කලකට පෙර අප රටේ සිදු වූ සත්‍ය සිදුවීමකි මෙය.
දකුණු ප්‍රදේශයේ විසූ හැට නමක් පමණ භික්ෂූන් වහන්සේ ඉන්දියාවේ වැඩ සිටින ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීමේ අදහසින් කාවේරි පටුනෙන් ගොඩ බැස්සහ. එතැන් සිට මහ වනය මැදින් බොහෝ දුර ගමන් කළහ. එහෙත් මග සොයා ගැනීමට නො හැකි විය. උන් වහන්සේලාට ඇතෙකු ගිය මග දැක ගන්නට හැකි විය. ඉන් පසු ඒ මග දිගේ දින තුනක් පුරා ගමන් කළහ.

සක් දෙවිඳුන්ගේ මුනිගුණ වැයුම්...

අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ, මිනිසුන්ගේ පමණක් නොව දෙව්බඹුන්ගේ ද ශාස්තෘන් වහන්සේ වෙති. බුදුරජාණන් වහන්සේට “සත්ථා දේව මනුස්සානං” කියන්නේ එහෙයිනි.

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන අවස්ථාවේ මිනිස් ලොව ඒ සදහම් ශ්‍රවණය කළේ පස්වග තවුසන් වහන්සේලා පමණ යි. එහෙත් භූමාටු දෙව්ලොව පටන් අකනිඨා බඹලොව දක්වා ඒ දෙසුමට සවන් දුන් කෝටි සංඛ්‍යාත දෙවියන්, බ්‍රහ්මයන් මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් බවට පත්වුණා. රතන සූත්‍රය, රාහුලෝවාද සූත්‍රය ආදී දේශනාවන් සිදු කරද්දීත් දහස් ගණනින්, ලක්ෂ ගණනින් දෙවියන්, බ්‍රහ්මයන් ධර්මාවබෝධ කළා. චාතුම්මහාරාජික, තාවතිංස දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් ද මහත් වූ දිව්‍ය පිරිසක් සමඟින් පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා සෝතාපන්න ශ්‍රාවකයෙකු වූ අයුරු සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. දෙවියන්, බ්‍රහ්මයන් හා දහම් පිළිසඳරේ යෙදෙමින් පුන් පොහෝ දින දහමේ හැසිරෙන ආකාරය ගැන විස්තරයක් දීඝ නිකායේ ‘මහා ගෝවින්ද’ සූත්‍රයේ සඳහන් වෙනවා.


සම්බුදු ගුණ


භාග්‍යවතුන් වහන්සේ ගිජුකුළුපව්වේ වැඩ සිටියදී පංචසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා විසිනුයි මේ විස්තරය හෙළි කරනු ලබන්නේ. පංචසිඛ භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, වස් පවාරණය කළ පසළොස්වක පොහොය දිනක රාත්‍රියේ තව්තිසා දෙව්ලොව සුදම් සභාවට බොහෝ දිව්‍ය පිරිසක් එකතුවුණා. විරූඪ, විරූපාක්ෂ, ධ්‍රැතරාෂ්ඨ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරුන් පෙරටු කරගෙන සක් දෙවිඳුන් වාඩි වී සිටියා. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, යම් දෙවි කෙනෙක් මිනිස් ලොවේ දී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පුරා දෙව්ලොව උපත ලැබුවා ද, ඒ දෙවිවරු ශරීර සෝබාවෙනුත්, යසසිනුත් අනෙක් දෙවිවරු අභිබවා බබළනවා.

බුදුදහම බැහැර කළ නිසරු බෙදීම

භාරතීය බ්‍රාහ්මණ සමාජය තම ලාභාපේක්ෂාවෙන් සමාජය අනවශ්‍ය ලෙස වර්ග කළහ. ඒ මත සමාජය භේද භින්න වී අසමගිය අසහනය ගොඩ නැගුණි. බුදුරදුන්ගේ පහළවීම සමඟ මෙම නිසරු බෙදීම පිළිබඳ සමාජය තුළ කතිකාවතක් නිර්මාණය විය. බුදුදහම තුළ මෙම බෙදීම ප්‍රතික්ෂේප වූ අතර, ඒ මත සමගිය සහජීවනය ක්‍රමයෙන් ගොඩ නැගුණි. අයහපත් බමුණු මතය ප්‍රතික්ෂේප කිරීම උදෙසා අග්ගඤ්ඤ, චක්කවත්ති සීහනාද, අස්සලායන, අම්බට්ට, මධුර, වසල, වාසෙට්ඨ වැනි සූත්‍ර යොදා ගැනුණහ.
මේ ලෝකය මවන ලද නිර්මාපකයෙකු ඇත්තේ නැත. සමාජ සංස්ථා කිසිවෙකුගේ කැමැත්තක් නොවේ. විශ්වය සහිත සත්ත්වයා හේතුඵලවාදීව ඇති වූවකි යි, ලෝක සම්භවය පිළිබඳ දී.නි. අග්ගඤ්ඤ සූත්‍රයේ දී ඉගැන්වේ. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතවූ සත්ත්වයන් විශ්වයෙහි ප්‍රථම වරට පහළව රස පොළොව අනුභව කළහ. ඉන්පසු භද්‍රලතා වැල්, භූමිපප්ටක හා ස්වයංජාත සහල් අනුපිළිවෙළින් ආහාර ලෙස අනූභව කළහ. මෙම දේශනාවට අනුව සමාජ සම්භවය ඓතිහාසිකව සිදුවූවකි. උසස් පහත් භේදයක්, උපත නිසා සිදුවී නැත. වෙනස්කම් සිදුවූවානම් එය ක්‍රියාකාරකම් හේතුවෙනි. එහෙයින් උපත, භාෂාව, ලබ්ධිය මත උස් පහත් බව මැනීම සාධාරණ නොවේ. එකාකාරව ඇතිවූ මිනිස් වර්ගයා කුලයන්ට බෙදීයාම දී.නි. චක්කවත්ති සීහනාද සූත්‍රය හඳුන්වා දෙනු ලබයි.

සමාජ ගැටලු නිර්මාණය වීම


ලෝක ආරම්භ සමයේ මහපොළොව සම්පත් බෙදී තිබුණේ නැත. පොදු දේපළ ක්‍රමය ක්‍රියාත්මක විය. කල්යත්ම පොදු දේපල පෞද්ගලිකත්වයට නතුවූහ. මෙහි ප්‍රතිඵල ලෙස එතෙක් සමාජයේ පැවති සමානාත්මතාව නැතිවී සාමය, සමගිය සහජීවනය පලුදු විය.

සම්බුදු සසුනේ චිර පැවැත්මට උපකාර කරන දෙවිවරු

මනු ලොව සිට තව්තිසා දෙව්ලොවට දුර යොදුන් අසූ හාර දහසකි. මෙහි ශක්‍ර දෙවියන් වැඩ සිටියි. චාතුර් මහා රාජිකයේ සහ තව්තිසා දෙව්ලොව දෙකෙහි ම අධිපතියා ශක්‍ර දෙවියන් ය. ඒ නිසා ශක්‍ර දෙවියන් හඳුන්වන්නේ දෙදෙව් ලොවට අධිපති යනුවෙනි. මේ දෙවියන් බොහෝ අවස්ථාවල බුද්ධ ශාසනය වෙනුවෙන් මැදිහත් වෙයි. බුද්ධ දේශනාවට අනුව දීඝ නිකායේ සක්ඛ පඤ්ඤ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් ශක්‍ර දෙවියන් සෝවාන් ඵලය ලැබුවේ ය.
තව්තිසා දෙව් ලොවට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් යාම දෙව්ලොව පිහිටා ඇත. එතැන් සිට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් ඇත්තේ තුසිත දෙව් ලොව යි. බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ තුසිත දෙව් ලොව සිට යි. ගෞතම බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව වැඩ වෙසෙද්දී දෙවියන් විසින් මෙලෙස ආරාධනා කරනු ලැබී ය. “කාලො යන්තෙ මහා වීර – මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේට දැන් කාලය යි. උප්පජ්ජ මාතු කුච්චියං - මිනිස් මව් කුසක පිළිසිඳ ගන්න. ‘සදෙවකං ථාරයන්ථො බුද්ධස්ස අමතං පදං’ - අමෘත නිවන අවබෝධ කරගෙන දෙව්, මිනිස් ලෝකයා සසර දුකෙන් එතෙර කරවන්න මනු ලොවට වඩින්නැ’යි ආරාධනා කරනු ලැබී ය. ඉන්පසුව බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා මනුලොව පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගත්තහ.
තුසිත දෙව්ලොව සිට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් නිම්මාණරතී දෙව්ලොව පිහිටා තිබෙයි. එතැන් සිට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් පරනිම්මිත වසවර්ති දෙව්ලොව පිහිටා ඇත. මේ සෑම දිව්‍ය ලෝකයක් අතරම පරතරය යොදුන් හතළිස් දෙදාහක් බව අටුවා දේශනාවල සඳහන් වෙයි. එතැනින් ද ඉහළට පිහිටා ඇත්තේ බ්‍රහ්ම තළයි. මහා බ්‍රහ්ම, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත , ආදී ඉහළට රූපාවචර බ්‍රහ්ම තළ දාසයක් සහ තවත් ඉහළින් අරූපී බ්‍රහ්ම තළ සතරක් පිහිටා තිබෙයි. ඒ ආකාසඤ්චායතන, විඤ්ඤාණංචායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤා නාසඤ්ඤායතන ආදිය අරූපී බ්‍රහ්ම තළයි.

සදහම් දැනුම


ප්‍රශ්නය: මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සාමාජිකත්වය තහවුරු කර ගනී. එම සමාජය ස්ව ශක්තිය (සක්කෝ) මෙන්ම හැකියාව අනුව මිනිසාට තම ඉහළම ස්ථරය වූ රහත්ඵලය හා බුද්ධත්වය දක්වා ම ගමන් කළ හැකි බව බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත විස්තර කථාවලින් පැහැදිලි වෙයි. දුරාචාරය ද මිනිසා වෙතින් ආරම්භ කොට අදාන්ත වූ අසාන්ත අධම සමාජය බිහි කරන්නේ ද මිනිසා විසින් ම ය. එය දුශ්චරිත සමාජයකි. බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.

පිළිතුරු: අංගුත්තර නිකාය පෙළ දහමට අනුව මෙම පාඨය ශබ්ද නගා කියවන්න. “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං රත්තඤ්ඤං යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤ” මහණෙනි, යම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේ ද?

හිරු සඳු ඉල්ලා හඬා වැළපෙනවා ද?

" බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියේ මෙම කතා ප්‍රවෘත්තිය මඟින් අපට ලැබිය හැකි දහම් අවවාදය කුමක් ද? ඉපදීම නම් වූ දුකට හසුව පවතිමින් සැනසෙන්නට උත්සාහ කරන්නේ, එසේ ම ඉපදීමෙන් දුකක් හදාගෙන තිබෙන තවත් කෙනෙකුගෙන් ද? අප අපේ ජීවිතයට පිහිටක් ලෙසින් සම්මුතිය තුළ ලෝක පැවැත්මෙහි එකතුව කටයුතු කළත්, සදාකාලික පිහිටක් ඒ කිසිදු කෙනෙකුගෙන් හෝ කිසිදු වස්තුවකගෙන් ලැබිය නොහැකි බව අවබෝධ කර ගත යුතුය."

මනුෂ්‍යයෙක් ලෙසින් උපත ලබා දෙතිස් කුණූපයන්ගෙන් පිරිපුන් වූ ශරීරයක් දරාගෙන සිටින විට පඨවි ආදී ධාතූන්ගේ විසිරීම සිදුවෙනවා. එසේ පඨවි ආදී ධාතූන්ගේ සිදුවන විසිරීම, දිරාගෙන යෑම, ලෙඩදුක් ලෙස තේරුම් ගන්නට පුළුවන්.

වරද නිවැරැදි කර ගත්තෝ උසස් අය බවට පත්වෙති

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි පෙහෙවස් සමාදන් වූ පන්සියයක් උපාසක පිරිස අමතා පංචුපෝසථ ජාතකය දේශනාකොට වදාළහ.

අතීතයේ කසී, කොසොල් හා මගධ රාජ්‍යයන් මධ්‍යයෙහි මහා වනයක් පිහිටා තිබුණි. එකල බෝධිසත්ත්වයන් වහන්සේ බමුණු මහසල් කුලයක ඉපිද පංච කාම ලෝකයේ පවතින ආදීනව අවබෝධ කර ගෙන ගිහි ගෙයින් නික්ම එම කැලෑවට ගොස් පන්සලක් සාදවා ගෙන තවුස් දම් රකිමින් වාසය කළහ. එම අසපුව නුදුරෙහි වූ උණ පඳුරක පරෙවි ජෝඩුවක් ද තුඹසක සර්පයෙක් ද ආසන්න වන ලැහැබෙහි සිවලෙක් හා වලසෙක් ද වාසය කළහ. මෙම සතුන් සිව් දෙනා කලින් කලට බෝධිසත්වයන් වෙසෙන පන්සලට ගොස් බණ කථා ඇසීමට පුරුදුව සිටියෝ ය. එක් දිනෙක පරෙවි ජෝඩුව කැදැල්ලෙන් නික්ම ගොදුරු සොයා යන අවස්ථාවෙහි උකුස්සෙකු පැමිණ පරවි ධේනුව පැහැර ගෙන ගොස් මරාගෙන කෑවේ ය.

අස්ථිර ජීවිතයේ ස්ථිරව සිතිය යුතු දේ


මරණ සති භාවනාව යනු මරණයේ සිහිය පිහිටුවීම යි. එය දියුණු කර ගැනීම තුළින් හැඬීම, වැළපීම ආදිය සියලු දුක්ඛ දෝමනස්සයන් දුරු කර ගැනීමට සමත් වෙයි. මරණානුස්සති භාවනාව දියුණු කිරීමෙන් සත්ත්වයන්ගේ සිත පිරිසුදුවීම ප්‍රධානම ආනිශංසය යි.
මිනිසාගේ සිතේ පවතින ලෝභ, ද්වේශ, මෝහ, මද මාන්න, ඊර්ෂ්‍යා ආදිය අකුසලයන් සංසිඳවා ගැනීමට මරණානුස්සති භාවනාව විශේෂයෙන් මහෝපකාරී වෙයි. කෙනෙකු මිය ගිය විට දැඩි ලෙස කම්පාවට පත්ව, අඬා, දොඩා වැළපීම්, කෑකෝ ගැසීම් සිදු වන්නේ මරණානුස්සති භාවනාව දියුණු නො කළ නිස යි. එනම්, සිත දියුණු නො කළ නිස යි.
සිත දියුණු කිරීම යනු නීවරණයන්ගෙන් සිත බැහැර කිරීම යි. ඒ සිත පිවිතුරු, දියුණු තත්ත්වයකට පත් වෙයි. දෙවන සහ තුන්වන ආනිශංසය වන්නේ හැඬීම වැළපීම සංසිඳීම යි. කරදර කම්කටොළු බාධක ව්‍යවසනයන් පැමිණීමේ දී බොහෝ දෙනාගේ ස්වභාවය වන්නේ හැඬීම සහ වැළපීම යි.

ධර්මානුධර්ම ප්‍රතිපදාව ( සෝතාපත්ති අංග )

ධර්මානුධර්ම ප්‍රතිපදාව යනු තමන් අවබෝධ කරගන්නා ධර්මයට අනුව තම දිවි මඟ නිවැරැදිව හසුරුවා ගැනීම යි. බුදුන් වහන්සේ ප්‍රධාන කාරණා සතරක් පිළිබඳව සිත පිහිටුවා තම දිවි මඟ සකසා ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන් සේක.
පාපයෙන් දුරුවීම, ධර්මයට අනුව ජීවත් වන්නාගේ ප්‍රධාන ලක්ෂණය වෙයි. ඇත්තට ම කෙනෙකු අටසිල්, දස සිල්, සමාදන් වුව ද ඒ ගන්නා ශීලය නිබඳව ආරක්ෂා නොවේ. ඒ නිසා ඇතැමුන්ගෙන් නිබඳව ම අඩුපාඩුකම් සිදු වෙයි. නිදසුනක් ලෙස සඳහන් කිරීමේ දී යමෙක් බොරු නොකියන බවට සිතුව ද බොරු කීම සිදු වෙයි. කිසිවෙකුට වදනකින්වත් සිත නොරිදෙන සේ ක්‍රියා කරන බවට සිතුව ද එසේ නොවී අඩුපාඩුකම් සිදු වෙයි.
බුදුන් වහන්සේ නිබඳව ම දේශනා කර වදාළේ නිබඳව ම සමාදන් වන අටසිල්, දස සිල් ආදිය ආර්ය කාන්ත ශීලය ඉතා වැදගත් සේ ම පාපයෙන් වැළකීම ද වඩා සුදුසු බව යි. ඇත්තට ම, අප තේරුම් ගත යුත්තේ කෙනෙකු අතින් අඩුපාඩුකම් සිදු වන්නේ ඇයි ද? යනුවෙනි. සිල් සමාදන් වූ පමණින් ම කෙනෙකුට සියලු පාපයන්ගෙන් දුරු වන්නට බැහැ. සියලු පාපයෙන් දුරස් වන්නට තම මනස තේරුම් ගත යුතු යි. මිනිසත් බව ලැබූ කුමන හෝ අයෙක් සංසාරෙන් ලැබූ ප්‍රධාන ම කාරණා තුනක් වෙයි. එනම්, ලෝභ , ද්වේශ , මෝහයන් වෙයි. නැතහොත් යම් කෙනෙක් භෞතික බැඳීම් වලට මනසින් ඇලීම ලෝභ මූලය නම් වෙයි. ද්වේශ මූල යනු මනසින් ඇලෙන දේ නො ලැබෙන විට ඇතිවන ගැටීම නොහොත් පටිඝය, ද්වේශය වශයෙන් පිට වෙයි. එසේනම්, ද්වේශයට හේතුව ඇලීම වෙයි.

යෝනිසෝ මනසිකාරය ( සෝතාපත්ති අංග )


ආශ්‍රව දුරුකරන්න නුවණින් මෙනෙහි කරන්න


බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගය දියුණු කිරීමෙන් ලබන ප්‍රතිඵලයන් හතරක් දේශනාකොට වදාළා. ඒ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, සහ අර්හත් යනුවෙන්.
සසරෙන් එතෙර වෙන්නට යන ගමනේ පළමුව හමුවන්නේ සෝවාන් ඵලය යි. සෝවාන්ඵලයට පත්වෙන ශ්‍රාවකයාට ලැබෙන උතුම් ලාභය නම් මේ සසර ගමනේ නියත වශයෙන් ජීවිත හතක් ඇතුළත සංසාර දුක නිමා කිරීම යි.
ශාසනය තුළ ඉගැන්වෙන පුණ්‍ය ප්‍රතිපදාවන් හෝ කුසල ප්‍රතිපදාවන් බොහෝ සෙයින් උපකාරි කර ගත යුතු වන්නේ කාම ලෝකවල උත්පත්තිය ලබා කාම සම්පත් විඳිනවාට වඩා, සංසාර දුකෙන් නිදහස් වන මාර්ගය තුළ ගමන් කිරීමට යි. සෝවාන්ඵලය ශාක්ෂාත් කර ගැනීම තුළින් මේ සසර ගමන තුළ දී අපට මහත් වු රැකවරණයක් සැලසෙනවා.
කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව යන අංග හතර සෝතාපත්ති අංගයි. මෙයින් යෝනිසෝමනසිකාරය ගැන මෙසේ දැනුවත් වෙමු.
යෝනිසෝමනසිකාරය යනු නුවණින් මෙනෙහි කිරීම යි. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයාට සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළිනි. ඒ ආශ්‍රයෙන් ලැබුණ ධර්මය ඔහු මැනවින් ශ්‍රවනය කර ඒ ධර්මය ජීවිතයේ කොටසක් බවට පත්කර ගන්නට, ඒ තුළින් ලැබෙන ඵලයන් නෙලා ගැනීමට අනිවාර්යෙන් යෝනිසෝමනසිකාරය අත්‍යවශ්‍ය වේ. ඒ වගේම ඕනෑම කරුණක් නුවණින් මෙන් ම අනුවණින් ද මෙනෙහි කළ හැකියි.

සද්පුරුෂ ඇසුර ( සෝතාපත්ති අංග )


නුසුදුසු ඇසුර ජීවිතය නීරස කරයි


මිනිසා මෙලොවට බිහිවන්නේද, මෙලොවින් නික්ම යන්නේද, තනිවම වුවද, ඔහු ජීවත් වන්නේ තනිවම නොව, සාමාජික පිරිසක් සමඟය. තනිව ජීවත්වීම අපහසුසේම, එසේ ජීවත් වීමද සම්පූර්ණ ජීවත්වීමක් ලෙස නොසලකනු ලැබේ. කෙලෙස් තවන වීර්යයෙන් යුතු භික්ෂූන් වහන්සේට, ආරණ්‍ය, රුක්මුල්, ශූන්‍යාගාර
ඇසුරු කිරීමට බුදුරජාණන් වහන්සේ, උපදෙස් දුන්නේ, තමාගේ අභිමතාර්ථය, එනම් අර්හත්වය සාක්ෂාත් කරනතුරු පමණි.
ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක් වූ විට, සමාජගත වුවකු විය යුතු ය. මහජනයාගේ හිත සුව පිණිස කටයුතු සම්පාදනය කරදෙන අයෙකු විය යුතු ය. එහෙයින් බලන කළ මිනිසාට සාමාජික ජීවිතයෙන් මිදී කටයුතු කිරීම අපහසු බව පැහැදිලි වේ.
සමාජය වූ කලි සංකීර්ණය, විවිධය, විශ්මය. එහි ගැලී ක්‍රියාකිරීමද පහසු කාර්යයක් නොවේ. එය යම් තරමක හෝ අස්වැසිල්ලක් වන්නේ, යහපත් අය ඇසුරු කරන්නට ලැබෙනවා නම් පමණි. නුසුදුසු අයගේ ඇසුර ජීවිතය නීරස කරයි. කූටක, අමිහිරි අත්දැකීමක් බවට පත් කරයි. එක් අතකට, මිනිස් සමාජය, වනාන්තරයක් බඳුය. වනයක ඇත්තේ එක සමාන ගස්, වැල් නොවේ.

සද්ධර්ම ශ්‍රවණය ( සෝතාපත්ති අංග )


දෙලොව යහපතට දහම් අවවාද

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් දහම් මග අනුගමනය කරන නුවණැති ශ්‍රාවකයන් ලෙස අප නිරතුරුව නිවන් අවබෝධය පිණිස වෙහෙසිය යුතුය. එකී නිවන් මගෙහි පළමු චරණය නම් උතුම් වූ සෝතාපත්ති ඵලයයි. සෝතාපත්ති ඵලයට පත් වූවකු ඒ ක්ෂණයෙහි ම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන ත්‍රිවිධ සංයෝජන ධර්මයන් ප්‍රහීණ කොට නැවත සසර ගමනෙහි සතර අපායාදී නරකයන්හි ඉපදීමට ඇති ඉඩකඩ සපුරා නැති කොට දමා ඉදිරි භව සතක් තුළ ස්වකීය නිවන් අවබෝධය නිශ්චිත කරගනී.
එහෙයින් අප තථාගතයන් වහන්සේ මහත් තෙද ඇති සක්විති රාජ සම්පත්තියටත්, දෙව්ලොව උපතටත් සියලු ලොව අධිපති බවටත් වඩා සෝතාපත්ති ඵලය ම වඩාත් උතුම් වන බව වදාළහ. මෙම උතුම් සෝතාපත්ති ඵලය ලැබීම පිණිස උපකාරී වන අංග සතරක් බුදුන් වහන්සේ විවිධ අවස්ථාවන්හි දී දේශනා කොට වදාළහ.
එම අංග සතර අතුරින් දෙවැන්න නම් සද්ධර්ම ශ්‍රවණය යි. සෝතාපත්ති හෙවත් සෝවන් ඵලයට පත් වීම පිණිස පළමුව සෝවන් මගට පිවිසිය යුතුය. එකී සෝවාන් මගට පිළිපන් උතුමෝ ‘සද්ධානුසාරී’ හා ‘ධම්මානුසාරී’ වශයෙන් දෙවැදෑරුම් වන බව ධර්මයෙහි විස්තර වේ. තථාගතයන් වහන්සේ පිළිබඳ ඇති මහත් වූ පැහැදීම හේතු කොට ගෙන සෝවාන් මඟට පිළිපන් පුද්ගලයා ‘සද්ධානුසාරී’ නම් වේ. දහම් කරුණු මනාව විමසා බලා එහි යථා ස්වභාවය මැනවින් වටහා ගනිමින් සෝවාන් මඟට පිළිපන් පුද්ගලයා ‘ධම්මානුසාරී’ නම් වේ.

සම්බුදු ගුණමහිම: පිපෙන සියපත් ගණනට පිදෙන අටපිරිකර

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 07


බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ දින හතකින් කළුරිය කරලා මාතෘ දිව්‍යරාජයා වශයෙන් දිව්‍ය ලෝකයෙහි උප්පත්තිය ලබනවා. පසුව ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ හදා වඩා පෝෂණය කරනවා. අවුරුදු දහසයේ දී විවාහ ජීවිතයට පත්වෙනවා.
අවුරුදු විසි නවයක් ගිහිගෙදර කල්ගෙවලා රාහුල කුමාරයන්ගේ උප්පත්තිය සිද්ධවන දවසේදී ම
‘රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ’
රාහුලයෙක් උපන්නා බන්ධනයක් ඇති වුණා කියන සංවේගය ඇතිවෙනවා.ඊට පෙර උන්වහන්සේ සතර පෙර නිමිති දකිනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක් සහ පසුව පැවිදි රුවක් දැකලා මේ ජීවිතය ගැන කල කිරෙනවා. එදවස රාත්‍රී නාට්‍යාංගනාවන්ගේ විකාර දැක කල කිරීමට පත්වෙනවා. තමන්වහන්සේ මධ්‍යම රාත්‍රියේ ඡන්න ඇමතියාත් කන්ථක අශ්වයාත් සමඟ මහාභිණිෂ්ක්‍රමණය කරනවා. එසේ මහාභිණිෂ්ක්‍රමණය කරමින් අනෝමා ගංතෙරදී කෙස්වැටිය කපලා මහණදම් පුරන්න අධිෂ්ඨාන කරනවා.

වනිතා ලොවට ආදර්ශවත් වූ යශෝධරාවෝ

ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨ මහා සම්බුදුවරයෙකුගේ සම්බුද්ධත්වය අධ්‍යාත්මිකව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් පුරා කරන ලද මහඟු පරිත්‍යාගවල , පුහුණු කිරීම්වල , අත්දැකීම්වල, දැනුම් සම්භාරයක මහා ප්‍රතිඵලය යි.

එවැනි උතුම් බුද්ධත්වයක් ලබන උතුමෙකුට සංසාරය පුරාම ඒ වෙනුවෙන් දිරිය දෙමින්, වෙහෙස වෙමින්,කැප වෙමින්, ළඟින් සිට දුකසැප බෙදාගනිමින් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සිටියා නම්, ඒ එකම කාන්තාරත්නය යශෝධරාවයි. යශෝධරාවෝ සංසාරය පුරාම උප උපන් හැම භවයකදීම ඒ උතුම් කාර්යභාරය වෙනුවෙන් ගැහැනියක ලෙස ඇප කැපවූ කාන්තාවයි. . බුදුබව පතනා සිදුහත් බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි නියත විවරණ ලබාගත් දවසේ සිටම එම ස්ථානයේ සිටි යමිකිසි කාන්තාවක් විසින් බුදු බව පතනා උතුමන් වෙනුවෙන් සසර පුරා කැපවන බවට කළ අධිෂ්ඨානය ආරම්භය ලෙස සදහන් කළ හැකියි.


බුදුවන්නට පාරමී දම් පුරණ උතුªමන්ගේ බිරිඳවන්නට, ඒ වෙනුවෙන් සසරපුරා කැපවන්නට යශෝධරාවන්ද, පාරමී දම් පුරා තිබෙන ආකාරය ජාතක කතා තුළින් පැහැදිලි කරගත හැකියි.
යශෝධරාවෝ එම උතුම් කාර්යයභාරය ඉෂ්ට කරන්නට යෙදුනේ හුදෙක් මනුෂ්‍ය ආත්මභාවයක උප්පත්තිය ලැබූ කාලයේ පමණක් නොවෙයි. බෝසතාණන් වහන්සේ තිරිසන් යෝනිවල උප්පත්තිය ලබන කාලවලදී ද කවරාකාරයකින් හෝ යශෝධරාවන් ද තිරිසන් ආත්මභවයක ඉපිද ඒ ජීවිතයට ධෛර්ය ලබාදුන් ආකාරය කලන්දක ජාතකයෙන් හා සඳකිඳුරු ජාතකයෙන් ඉතාම පැහැදිලිව දැක ගත හැකියි.

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ


පින්වත්නි
නිර්දෝෂී උතුමන්ට අවැඩ කරන, දෝෂාරෝපණය කරන, නින්දා අපහාස කරන, බාධා කරන අයට විඳීමට සිදුවන බව දේශනා කළ අපේ බුදුරජාණන් වහන්සේ, පව්කම් කරන විට මිහිරි ලෙස සිතුවත්, ඒවායේ විපාක විඳින කල්හි දැඩි ලෙස පීඩා විඳුමට සිදුවන බව අවධාරණය කර ඇත.

අප ජීවත්වන සමාජයේ සත්පුරුෂයන් මෙන් ම අසත්පුරුෂයන් ද දක්නට ලැබේ. ඇතැම්විට සත්පුරුෂයන්ට වඩා අසත්පුරුෂයන් වැඩි වන්නට පුළුවන. සත්පුරුෂයා සැමවිට යහපත් දේම සිතයි. කරයි, කියයි.


සතර බ්‍රහ්ම විහරණවලින් යුතුව කටයුතු කරයි. තමාගේත්, අනුන්ගේත් හිත පිණිස කටයුතු කරයි. විශේෂයෙන් ඔහු ජීව අජීව ලෝකයටම හිතවත් වෙයි. ලෝකයට හිත පිණිස වැඩකරන එවන් සත්පුරුෂයන්ගේ ක්‍රියාවන් අගය කරන අය මෙන් ම ඒවාට අකුල්හෙලන අය ද වෙති. ඒවා අගය නොකරන, ඒවාට බාධාකරන විවිධ අවලාද චෝදනා නඟන චරිත ඝාතනය කරන්නට වෙරදරන අසත්පුරුෂයන් ද කොතෙකුත් ය. පහත් පුද්ගලයින් කොපමණ බාධා හිරිහැර කළ ද, ඉන් නොසැලී අකම්පිතව, මහා නුග රුකක් මෙන් ද, මහා පර්වතයක් මෙන් ද කටයුතු කිරීම සත්පුරුෂයාගේ ලක්ෂණයයි.

Monday, November 20, 2017

ජීවිතය තුළින් ජීවිතය අවබෝධ කරගත යුත්තේ කෙසේද ?


ඉර පායන තැනත්, ඉර බැස යන තැනත් අතර දුර ප්‍රමාණය කොපමණ දැයි කිව නොහැකි ය. සඳ පායන තැනත් ,සඳ බැස යන තැනත් අතර පවතින දුර කොපමණ දැයි කිව නොහැකිය. මහපොළොවත් අවකාශයත් අතර පවතින දුර ප්‍රමාණය කිව නොහැකිය. නමුත් මහණෙනි, ඒවා කිව හැකි ඒවා යැයි සිතීමට හෝ පුළුවන්කමක් තිබේ. එහෙත් බාලයා සහ පණ්ඩිතයා අතර පවතින දුර ප්‍රමාණය ද, තැබිය යුතු දුර කෙතරම් දුරින් ද, යන වග පැහැදිලි කළ නොහැකි ය."
බුදුරජාණන් වහන්සේ ලෝකයේ ජීවත්වන මිනිසුන් නුවණ නැති මිනිසා සහ නුවණ ඇති මිනිසා යනුවෙන් කොටස් දෙකකට වර්ග කර ඇත. නුවණ නැති යහපත් ක්‍රියාවල නොයෙදෙන පුද්ගලයා බාලයා ලෙස බණ පොතේ සඳහන් වේ.

තමන්ගේ යහපත හා අන්‍යයාගේ යහපත, අර්ථය හිත සුව පිණිස කටයුතු කරන පුද්ගලයා පණ්ඩිතයා ලෙස අර්ථ දක්වා තිබේ. මේ දෙදෙනා අතර පවතින වෙනස, ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය අනුව පැහැදිලි කර ගත හැකි ය. ක්‍රියාවෙන්, හැසිරීමෙන්, සිතිවිලි වලින් වචන භාවිතා කරන පිළිවෙල අනුව එම වෙනස නිවැරැදිව හඳුනාගත හැකි වේ. නිරන්තරයෙන්ම අයහපත් සිතිවිලිවලින් සිත පුරවාගනිමින් අයහපත් දේ සිතීම බාලයාගේ ස්වභාවය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඔහු සමාජය තුළ ක්‍රියාත්මකවීමේ දී තමාගේ සහ සමාජයේ අයහපත පිණිසම හේතු වන අයහපත් ක්‍රියාම කරයි. බාලයා පිළිබඳව දක්වා තිබෙන කරුණු තුන ඔහුගේ සිතටද, වචනයටද, කයටද සම්බන්ධ කොට දක්වා ඇත. බාල ගති

සුගති දුගති ලොව ඉපදෙන බිරින්දෑවරු

කුඩා දරුවන්ගේ සිත්වල අකුසල් හට ගන්නේ ඉතාමත් අඩුවෙන්. එහෙත් වයසින් මෝරන විට ඒ සිත් අකුසලයට ම බරවෙන ස්වභාවයක් තිබෙනවා. පොඩි වැරැද්දටත් සිත අකුසලයේ පිහිටුවාගෙන, ඊර්ෂ්‍යා කරමින්, නපුරුකමින්, පළිගන්න ස්වභාවයක් මේ හිත්වල ඇතිවෙනවා. වයසින් තව තවත් මෝරද්දී සිත කිළිටි වන දේවලින් පිරී ගොස් බොහෝ දෙනෙකුට ඉතිරි වන්නේ පිරිහුණු සිතක් සමඟ රැස් වූ අකුසල් ගොඩක් පමණයි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රයාගෙන්. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණේ නැතිනම්, ඉපදීමටත්, මරණයටත් ගොදුරු වෙමින් දිගින් දිගටම මේ සංසාර ගමනේ දුක් විඳිමින් ගමන් කරන්නට අපට සිදුවෙනවා. ඒ නිසා, මේ උතුම් අවස්ථාව මඟහැර නො ගෙන ජීවිත අවබෝධය කරා යෑමට උත්සාහ කළ යුතු වෙනවා.
මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් සුවපත් කර ගැනීම පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ “සප්ත භාර්යා සූත්‍රය” (බිරින්දෑවරු හත්දෙනා පිළිබඳ වදාළ දෙසුම) අංගුත්තර නිකායේ හත්වැනි නිපාතයට අයත් දේශනාවක්.

සිල් රැකිය යුතු දරුවන් පමණද?

"
අතීත ගැමි ගෙදර පන්සලක් මෙන් පිරිසුදුව පැවැති බව අමතක නොකළ යුතු කාරණාවක්. පොල්අත්තක රටා මවමින් පිළිවෙළකට අතුගා තිබුණ මිදුලෙහි සේපාලිකා මල් සුවඳ දසත පැතීරී ගියා. සේපාලිකා මල් සුවඳ හමමින් සිරියාවකට පැවැති එදා ගැමි ගෙදර ඒ පරිසරයට කෙතරම් සොඳුරු බවක් එක් කළාද? හැකි තරම් ගෙදරට ප්ලාස්ටික් භාණ්ඩ පුරවාගත් තරමට ගෙදර ලස්සන වෙන බව ඇතැමුන් සිතා සිටී. එය වර්තමාන ස්වභාවයයි."

හැම දරුවෙක් ම වටිනා දරුවෙක් වෙයි. හැම දරුවෙක් ම තමාට ලැබුණ මහා සම්පතක්. දරුවා පිළිබඳව එම විශ්වාසය සැම දෙමව්පියෙකු සතු විය යුතු ය. නිවැරැදි කාරණාවන් නිවැරැදිව මනසට ඇතුළු කර නොගැනීම අපගේ සමාජය අසංවර්ධිත වීමට හේතුවක් වෙයි. සංවර්ධිත රටක් විමට නම්, මිනිසුන්ගේ ආත්ම ගොඩනැඟී තිබිය යුතු ය.

තට්ටු ගණනින් යෝධ ගොඩනැඟිලි ඉහළ ගිය පමණින් සංවර්ධනය වූ බවට සිතීම අපහසු කාරණාවක්. මිනිසුන්ගේ මනස යහපත්ව ගොඩනැඟී තිබිය යුතු ය. එකිනෙකාට ගරුකිරීම, ශ්‍රද්ධාවන්තවීම අංක එක නම්, දෙමව්පියන් ඉතාම සිල්වන්ත වීම අංක දෙක විය යුතු ය. එබඳු පරිසරයක වැඩෙන දරුවන් සිල්වන්ත කිරීම පහසු වෙයි. ගිහියෙකු විසින් ආගමික වශයෙන් ආරක්ෂා කරනු ලබන සිල් පද පහට අමතරව ගෘහයට අදාළ වන සිල්පද ද වෙනම ආරක්ෂා කළ යුතුය.

යුතුකම් මත රැකෙන මිතුදම්

සදිසා වන්දනය හා සහජීවනය

සහජීවනය, සමඟිය ඇතිවීමේ දී මිත්‍රත්වය ඉතා වැදගත් ය. මිතුරන් නොමැතිවීම සමාජ අනාරක්ෂිත බවට හේතුවකි. එසේ ම එවැනි ජීවිත නීරස වේ. යහපත් මිත්‍රත්වය පුද්ගල දියුණුවට මෙන් ම සමාජ දියුණුවට මහත් අස්වැසිල්ලකි. ඇසුරු කරන මිතුරන් කෙසේ විය යුතු ද යන්න සිඟාල ගෘහපති පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ පැහැදිළි කළහ. සැබෑ මිත්‍රත්වය සමාජ සාමය, සමඟිය සඳහා අවශ්‍ය ය. මිත්‍රයා යනු හිත් රිදුනත් නැතත් පටු අවශ්‍යතා මත කටයුතු නොකොට මිත්‍රයාගේ දෙලොව සකසන පුද්ගලයා ය.

අවශ්‍ය දේ මිස අනවශ්‍ය දේ නොදීම


මිතුරා විසින් තම මිත්‍රයන් වෙනුවෙන් තම ශක්ති ප්‍රමාණයෙන් අවශ්‍ය දෑ ලබාදීම ඉතා වැදගත් ය. අනවශ්‍ය දෑ නොදීමට වගබලා ගත යුතු වේ. සමාජ සම්මතයන්ට පරිබාහිර යමක් ලබාදීම අනුචිත ය. සැබෑ මිත්‍රයන් එසේ කටයුතු නොකරයි. යමක් ඉල්ලා සිටිවිට අතීතයෙන් හෝ අනාගතයෙන් පිළිතුරු ලබා නොදීමට මිත්‍රයා කටයුතු කරයි. මිත්‍රවේශයෙන් අයහපත් දෑ කන්න, බොන්න ලෙස පෙරැත්ත කිරීම මහත් අලාභයකි. ඇතමුන් වැනසෙන්නේ මෙවන් මිත්‍රත්වය නිසාවෙනි. තරුණ කාලයේ දී අයහපත් දෑ වැළඳ ගැනීම නිසා නිවස තුළ, ආයතනය තුළ සමඟිය සහජීවනය නැතිවී අනවශ්‍ය හිත් රිදීම් ගැටුම් නිර්මාණය වේ.

බුදුරදුන් දවස බණ ඇසූ දෙවිවරු

බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙව්, බඹුන්ට ද නිවන් මඟ වදාළ අසම සම ආචාර්යවරයෙක් වූ සේක. ඒ නිසාම ‘සත්ථා දේවමනුස්සානං’ යනුවෙන් අපි උන්වහන්සේ හඳුන්වමු. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පිරිනිවන් පාන මොහොත දක්වා ම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර, ධර්මාවබෝධය ලැබූ ප්‍රමාණය සූවිසි අසංඛ්‍යය නවකෝටි හැටලක්ෂයක් ලෙස සඳහන් වෙයි.


මේ පිරිසෙන් බහුලව ම ධර්මය අවබෝධ කළේ දෙව්, බඹුන් වෙයි. මනුලොව ඉතාම සුළු පිරිසක් ධර්මාවබෝධය ලැබූ බව ධම්ම චක්ක දේශනාවට අනුව පැහැදිලි වෙයි. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වය ලබා පවත්වන ප්‍රථම ධර්ම දේශනය ධම්මචක්කපවත්වන සූත්‍රය යි. එය දේශනා කර වදාළේ මුවන්ට අභය දානය ලබාදුන් ඉසිපතන මිගදායේ සිට යි. ඒ සුමධුර සදහම් දෙසුම ශ්‍රවණය කළේ මනු ලොව මිනිසුන් පස් දෙනෙක් පමණ යි. ඒ අතුරින් කොණ්ඩඤ්ඤ තවුසා හැර අනෙක් සිව් දෙනාට ම බෝසතාණන් වහන්සේ ඇත්තට ම බුදු වුණාදැ’යි සැකයක් පහළ වුණා.

ලෝමහංස ජාතකය ( උපේක්ෂා පාරමිතාව )


අප මහ බෝසතාණන් වහන්සේ මතු බුදුබව පතා පෙරුම් දම් පුරණය කරන කාලයේ සැප සම්පත් ඇති පොහොසත් පවුලක ඉපදුණා.
මේ කුමාරයාගේ නම ලෝමහංස. ඔහු ඉතාමත් හොඳින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. බොහෝ සැප සම්පත් වින්ඳත් මේ කුමාරයාට ඒ සැප ගැන කිසිදු ආශාවක් තිබුණේ නැහැ. ඒ සියලු දෙය තුළ ඇති අනිත්‍ය බව දුටුවා. වෙනස්වන බව, නැතිවන බව දුටුවා. ඒ වායේ අසාර බව මෙනෙහි කළා. ඒ නිසාම මේ ලෝමහංස කුමාරයා පැවිදි වෙන්න තීරණය කළා.
එහෙත් මේ කුමාරයාට නැවත මෙලෙසද සිතෙනවා. “මිනිස්සු මට මේ ජීවිතයේ දී සත්කාර සම්මාන කරන්න පුරුදුවෙලා ඉන්නේ. මම පැවිදි වුණත්, ඔවුන් මට පුද සත්කාර කිරීමට පැමිණෙනු ඇති. නැවතත් ඒක සැප විඳීමක්ම වෙනවා. ඒ නිසා මම පැවිදි නොවී අනුන්ගේ නින්දා, අපහාස දුක් කරදර, ඉවසාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනෑ” යැයි සිතා තමන් ඇඳ සිටි ඇඳුම පිටින් ම ගෙදරින් පිටත් වුණා.
ලෝමහංස කුමාරයා දැන් තැනින් තැන ඇවිදිනවා. එක තැනක එක රැයයි ඉන්නේ. රෑ දෙකක් එක තැන විසීම ප්‍රතික්ෂේප කරනවා. අනුන්ගේ නින්දා අපහාස ඉවසනවා. කෙනෙක් තමාට වැඩිපුර නින්දා අපහාස කරයි ද, නුරස්නා බස් කියයි ද, වැඩි කාලයක් එතැන රැඳී සිටින්න උත්සාහ කරනවා. එදා එක් ඇඳුමක් ඇඳගෙන නිවසෙන් පිටවුණාද තවමත් කුමාරයා ඇඳ සිටින්නේ ඒ ඇඳුම ම යි. එය දැන් දිරාපත් වෙලා එහෙත් අලුත් වස්ත්‍රයක් ගන්නේ නැහැ. කෙනෙක් දෙන වස්ත්‍රයක් පිළිගන්නෙත් නැහැ. වැරහැලි වු ඇඳුම ම ඇඳගෙන සිටිනවා.

සැනසුමට මග සමඟියයි ( ඵන්දන ජාතකය )

බුදුරජාණන් වහන්සේ රෝහිණි ගංගා ඉවුරේ වැඩවෙසෙමින් තමන්වහන්සේගේ ඤාතීන්ගේ සමඟියේ වැදගත්කම ගෙනහැර දක්වමින් මෙම ජාතක කථාව දේශනාකොට වදාළහ. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි එක්තරා වඩු ගමක අසල කැලෑවෙන් ලී දඬු කපා ගෙනවිත් කරත්ත සෑදීම ජීවිකාව කරගත් බමුණෙක් වාසය කළේය. ආසන්න කැලෑවෙහි විශාල කොලොන් ගසක් පිහිටා තිබුණු අතර එක්තරා වලසෙක් ගොදුරු සොයා කා නිතර එම ගස මුලට පැමිණ වැදහෙව වාසය කළේය.

එක් දිනක් එසේ වැදහෝනා අවස්ථාවෙහි මහත් සුළගක් හමා යාමෙන් කොලොන් ගසේ දිරාගිය අත්තක් කැඩී වලසාගේ පිටමත වැටුණේය. එයින් වලසාගේ පිට තැලී ගියේය. බියපත් වූ වලසා වේගයෙන් මඳදුරක් දුවගොස් අපසු හැරී බලා “සිංහයෙකු හෝ ව්‍යාඝ්‍රයෙකු මා පිටු පස ලුහු බඳවාගෙන නොඑන්නේය. ඒකාත්නයෙන්ම මේ කොලොන් ගසේ වාසය කරන වෘක්ෂ දේවතාවා මා මෙතන වැද හෝනා අකැමැත්තේය. ඒ නිසා මෙසේ කළේය” යැයි සිතා වෘක්ෂ දේවතාවා පිළිබඳ අස්ථාන කෝපයක් ඇතිකරගත්තේය. එපමණක් නොව කොලොන් ගස වෙත ගොස් “ඔබගේ ගසින් මම එක් කොලයකුදු නොකෑවෙමි. අත්තකුත් නොබින්දෙමි. එහෙත් ඔබ මා මෙහි වැදහෝනා අකැමැත්තේය. සෙසු සිංහ ව්‍යාඝ්‍ර ඌරු ආදි සිවුපාවුන් මෙහි වාසය කරනු කැමැත්තේය. මාගේ කවර දෝෂයක්ද? මට මේ කළ දෑ වෙනුවෙන් මම ඔබගෙන් පළිගනිමි. තව දින කීපයකින් ඔබ උදුරා දමා කුඩා කැබලිවලට කපා දමන්නෙමි” යනුවෙන් වෘක්ෂ දේවතාවාට තර්ජනය කොට එක්තරා පුරුෂයෙකු සොයා ගියේය.

සසර සැඩපහර තරණයට... ( ආර්ය පර්යේෂණ සූත්‍රය )


මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් ආර්ය පර්යේෂණ සූත්‍ර දේශනාවේ සඳහන් ධර්ම අදහස අපි තවදුරටත් පැහැදිලි කරගනිමු. සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට මත්තෙන්, එනම් බෝධිසත්ව අවධියේ දී මම ද සියලු සත්ත්වයන් සේ ම සැප සොයාගෙන ගමන් කළෙමි. මේ ලෝකයේ සියලු සත්ත්වයෝ ම දුකට වේදනාවට අකැමැති ය. සැනසිල්ලම. සැපතම සොයාගෙන යන්මෝ ය.

මම ද එලෙස දුකින් අත්මිදී, සැප සොයාගෙන යන ගමනේ ජාති ධර්මයන්ට උරුමවූවා නම්, එනම් ඉපදුණා නම් ඒ සෑම තැනකම පවතින්නේ විනාශයයි. නැතිව යාමයි. ඒ ස්වභාවයේ සිටිමින් ම එවැනි ජාති ධර්මයක් ම මම සොයා ගියෙමි. කුමක් වෙනුවෙන් ද? සැපය පිණිස ය.

මෙහි ගැඹුරු අදහස කුමක් ද? එය තමන් ද කරදරයක වැටී, තවත් කරදරයක වැටුණු පුද්ගලයකුගෙන් උදව්වක් උපකාරයක් ඉල්ලනවා හා සමානය.

Sunday, November 19, 2017

මරණානුස්සති භාවනාව

තථාගත බුදු පියාණන් වහන්සේගේ දේශනාවන්හි මරණානුස්සති භාවනාව පිළිබඳ ව හසළ දැනුමක් ලැබිය හැකි යි. යම් අවමඟුලකට සහභාගිවන ඔබ ඒ මෘත දේහය දෙස නිකරුණේ නො බලන්න. ඒ මෘත ශරීරයට සිදු වූ දෙය මටත් සිදු වන බව සිතාගෙන ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යනුවෙන් මරණානුස්සති භාවනාව වඩන්න. මේ ශරීරය අනිත්‍යය යි , දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් එහිදී ම මෙනෙහි කරන්න. ජීවිතය අස්ථිර බව , මරණය ස්ථිර බව තේරුම් ගන්නට සමත් නුවණක් ලැබුණොත් එය තමන් ලද භාග්‍යයක් වෙයි.

බොහෝ දෙනෙක් මරණයට බිය වෙති. පින්කම්, දාන, ශීල, භාවනාවෙන් සිතේ දියුණුව සලසා ගන්මෝ මරණයට නො බියව මුහුණ දෙති. කෙදිනක හෝ ජීවිතයේ අවසන් ගමන යන්නෝ නිදහස් ව මරණයට සූදානම් ව වාසය කළ යුතු යි. ඇලීම්, ගැටීම් තබාගෙන අවසන් ගමන සුගතිගාමී විය නො හැකි යි. අසල්වාසීන් සමඟ හොඳින් ජීවත් විය යුතු යි. ඉඩකඩම්, යාන වාහන, ගේ දොර ඉඩකඩම් සැවොම ‘මගේ’ යැ’යි උපාදාන වශයෙන් අල්ලා නො ගෙන ඒවා තමන්ගේ පහසුවට පමණක් පරිහරණය කළ යුතුයි.

යමක් “මගෙයි” යනුවෙන් බලවත් ලෙස අල්ලා ගැනීම භයානක වෙයි. පසුගිය දිනක එක්තරා උපාසිකාවක් මිය ගියා. මිය ගිය ඇය නමින් යමෙකුට ආරූඪ වී තමන් ජීවත් ව සිටියදී පැරැණි තහඩු පෙට්ටියක තැබූ වටිනා මාලය සෙව්වා. මේක මගෙයි යනුවෙන් ඒ පෙට්ටිය ඇය විවර කළ ද එහි මාලය තිබී නැහැ. මේ අනුව ඇයගේ අවසන් සිතේ මතකයට නැඟෙන්නට ඇත්තේ තමන්ගේ වටිනා මාලය ගැන විය හැකියි. එය ම අවාසනාවට හේතු වුවාද? පෙර භවයේ යහපත් මනුස්ස ජීවිතයක් ලබා ගත් ඇය පසු භවයේ අමනුෂ්‍ය ජීවිතයකට පත් වුණා ද? ඒ නිසා සියලු ම දේ සම්බන්ධයෙන් ඇලීමක් තබා නො ගත යුතු යි. ‘මගෙයි’ යනුවෙන් අල්ලා ගැනීමෙන් බලවත් තෘෂ්ණාව හට ගන්නා නිසා තමන්ගේ ඊළඟ භවය ද අවාසනාවන්ත වෙයි.

සිතට වුවමනා ලෙස හැසිරීමට ඉඩ දෙනවාද?


කුඹුරුවලට ජලය ගෙනයන ගොවියෝ තමන් කැමැති ලෙස ඇළ වේලි කපා වතුර ගෙනයති. හී වඩුවෝ හී දඬු නවා තමන්ට රිසි ලෙස දුනු හී හදති. වඩුවෝ ලී දඬු නවා තමන්ට ඕනෑ විදිහට භාණ්ඩ තනති. එලෙස නුවණැත්තෝ තමන් දමනය කරගනිති."
සැරියුත් හිමියන් ඇසුරෙහි වයස අවුරුදු හතක් තරම් වූ කුඩා දරුවෙක් පැවිදි දිවියට පිවිසුණි. භික්ෂු ජීවිතයේ ඇවතුම් පැවතුම් ඉගැන්වීම සඳහා සැරියුත් හිමියෝ පිණ්ඩපාතයෙහි වඩින විට මේ සාමණෙර හිමියන් ද කැටුව යති. තමන් වහන්සේගේ පාත්‍රය පොඩි හාමුදුරුවන් අතට දී තමන් පසු පසින් වඩින ලෙස කියති.
දිනක් මෙසේ යන අතරමග දී පොඩි හාමුදුරුවෝ වතුර ගලා ගෙන යන ඇළක් දුටුවහ.
“හිමියනි, මේ කුමක්ද? එහි ඇති ප්‍රයෝජනය කුමක්ද?” යි සැරියුත් හිමියන්ගෙන් ඇසූහ.
“එය ඇළක්. තැනින් තැන රැස්වෙන ජලය මේ ඇළ දිගේ අර ඈත පෙනෙන කුඹුරුවලට ගෙනයනවා. ඒ වතුරෙන් ගොයම ප්‍රාණවත් වෙනවා.”
“හාමුදුරුවනේ, එ ඇළට සිතක් තිබෙනවාද?”
“නැත පොඩි නම. මේ ඇළට සිතක් නොමැතියි.”

මහ බෝසත් උපතයි අසිරියේ සිරියයි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 06


අවසානයේ දී වනාන්තර ගතව තව්ස් දම් පුරාගෙන ඉන්න විට ජූජක බමුණා ට තමන්ගේ දරුවෝ දෙදෙනා පවා දන් දුන්නා. දරුවෝ දෙන්නා දන් දී උන්වහන්සේ හිතුවේ පැතුවේ මොනවාද? රජ සම්පත් නෙමෙයි, සිටු සම්පත් නෙමෙයි, දිව්‍ය සම්පත් නෙමෙයි, බ්‍රහ්ම සම්පත් නෙමෙයි.

උන්වහන්සේ හිතුවේ ලොව්තුරා බුදු බවයි. ඒ වගේ ම තමන්ගේ බිරිඳ දන් දුන්නා. රාජ්‍ය දන් දුන්නා. ඔය විදිහට දානය, අඹුදරුවන් ඒ වගේ ම අංග සියල්ලක් ම, පංච මහා පරිත්‍යාගයන් පරිත්‍යාග කළා. ඒ වගේ ම බෝසතාණන් වහන්සේගේ බෝසත් ගමනේ දී ‘ඤාතත්ථ චරියාව, ලෝකත්ථ චරියාව, බුද්ධත්ථ චරියාව කියන මේ චරියාවන් පුරුදු කළා. ඥාතීන්ට තමන්ගෙන් විය යුතු සංග්‍රහය නිවැරදිව ඉටුකළා, ඒවගේ ම ලෝකයාට කෙරෙන්න ඕන දානයෙන්, අර්ථයෙන්, සමානාත්මතාවයෙන්, ප්‍රියවචනයෙන් සංග්‍රහ කළා. ඒ වගේ ම බුද්ධත්ථ චරියාව බුදුවීම පිණිස පාරමී පුරාගෙන පැමිණියා.

නුවණැත්තාගේ ස්වභාවය

බොරුවට ඇති කාලය අඩු ය. සත්‍ය කවදා හෝ ජය ගන්නේ ය. මේ නිසා නොකළ වරදකට නින්දා ලැබුණේ යැයි ජීවිතය ම කලකිරී සිත අවුල් කර ගැනීම සුදුසු නැත. නින්දා ලැබුණ ද ඒවා හැමදාම එකලෙස පවතින්නේ ද නැත. නින්දා පසුපසම ප්‍රශංසා ද පැමිණෙන්නේ ය. ඒ ලෝදහමේ ස්වභාවයයි."

“සෙළෝ යථා ඒකඝනෝ
වාතේන න සමීරතී
ඒවං නින්දා පසංසාසු
න සමිඤ්ඣන්ති පණ්ඩිතා”
මහා ගල්කුලක් මහා සැඬ සුළඟකින්වත් සෙළවිය නොහැකි ය. එමෙන් පණ්ඩිතයා ද කිසිම විටෙක නින්දා ප්‍රසංසාදියෙහි නොසැළෙන්නේ ය.
මෙලොව උපත ලද සියලු දෙනාට උරුම වන පොදු ධර්මතාවක් වන්නේ අටලෝ දහම ය. අටලෝ දහම නම් ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප, දුක ආදී කරුණු කිහිපයයි. මේ අතරින් බොහෝ දෙනා විඳින ලද මනෝභාවය නම් නින්දාවයි. මෙලොව කිසිදු පුද්ගලයෙකු නින්දා නොලැබුවේ යැයි කිව නොහැකි ය. අප තථාගත බුදුපියාණන් වහන්සේ ද ජීවමානව වැඩ විසූ සමයේ නින්දා ලැබූ සේක. එහෙත් උන්වහන්සේ ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසූ සේක. එසේ වුව ද පෘථග්ජනයාගේ ස්වභාවය වන්නේ නින්දා හමුවෙහි කණස්සල්ලෙන් හිත බිඳ ගැනීමයි. අටලෝ දහම සම සිතින් ඉවසූ උතුමන් වහන්සේ අප බුදුන් වහන්සේ ම ය.
එදිනෙදා ජීවිතය ගත කිරීමේ දී බොහෝ විට අනෙකාගෙන් දොස් අහන්නට සිදු වීම සාමාන්‍ය කරුණකි. තමා නිවැරදි වුව ද ඇතැම් අවස්ථාවල දී නිකරුණේ ඇනුම් බැණුම් අසන්නට ලැබේ. එබඳු අවස්ථා බොහෝ ප්‍රමාණයකින් ඔබේ ජීවිතයට ද අද්දැකීම් ලැබී ඇත. එවන් අවස්ථාවක දී ඔබ කළේ කුමක්දැයි නැවතත් සිතා බලන්න. ක්ෂණයකින් කෝපයක් උපදවාගෙන දොස් නැගූ පුද්ගලයාට දොස් නැගුවේ ද? එසේ නැති නම් නිහඬව සිටියේ ද? ඔහු කෙරෙහි වෛරී සිතක් පහළ කර ගත්තේ ද? සාමාන්‍ය මිනිසාගේ ලක්ෂණය මේවා හමුවෙහි කෝප වීමයි. රළු ස්වභාවයෙන් ක්‍රියා කිරීමයි.

තමන්ගේ සැපතට අනුන් විපතට හෙළන්නෝ

ජාතක කතා පොත් වහන්සේ තුළ එන නවසාර ජාතක කතාවත්, සාලිය ජාතක කතාවත් එක ළඟ හමුවන සමාන කතා දෙකකි. ඇත්තේ සුළු අසමානකමකි. එක් වෙද මහතෙක් වෙදකම් කරන්නට රෝගීන් සොයා යයි. බොහෝ දුර ඇවිදගෙන ගිය ද එකම රෝගියකු හෝ හමු නොවෙයි. අතරමඟ තැනෙක ළමයින් පිරිසක් සෙල්ලම් කරමින් සිටින සැටි වෙද මහතා දකියි. ඒ අසළ නුග ගසකි. එහි බෙනයක සර්පයෙකි. වෙද මහතා ඒ දකියි. උපායක් සිහිවෙය “දරුවනේ..... අර බලන්න. අර ගස් බෙනයේ සැළලිහිණියෙක් ඉන්නවා. ගිහින් අල්ලා ගන්න.”

වෙද මහතා සිතුවේ සැළලිහිණියා ගන්නට ගස් බෙනයට අත දමනවිට නිසැකව ම සර්පයා දෂ්ට කරන බව ය. එවිට රෝගියාට ප්‍රතිකාර කොට මුදලක් සොයා ගත හැකි වන බව ය. සිදුවූයේ නො සිතූවකි. ගස් බෙනයට අත දැමූ ළමයාට ඒ සැළලිහිණියෙක් නොව සර්පයෙක් බව දැනුණි. බෙල්ලෙන් අල්ලා සැණින් සර්පයා එළියට වීසි කළේ ය. අවාසනාවට සර්පයා වැටුණේ වෙද මහතාගේ සිරුර මතට ය. කෝප වූ සර්පයා ඔහුට දෂ්ට කළේ ය. වෙද මහතා විෂ නැගී මරණයට පත් විය. මේ සාලිය ජාතකයේ එන කතා පුවතේ සාරාංශය යි.

නිරයට මඟ කියන පාපී මිතුරන්

ජීවිතය ගමනකි. තනිව යා නොහැකි ගමනකි. සත්වයෙකු ලෙස උපත ලබන සැමට ජීවන ගමන තනිව යා නොහැකි ය. අසීරු ය. මිනිසාටද මෙම නියමය අදාළ ය. මිනිසා සමාජ සත්වයෙකි. නොයෙක් බැදීම්, ඔහු, ඇය පසුපස ලුහුබඳී. මව්පියන්,සහෝදරයින්,අඹුදරුවන් පමණක් නොව මිතුරන්ද ජීවන ගමනේ අත්වැල් සපයන්නන් ය.
බිඳවැටීම්,නැඟිටීම් ඈ සියල්ල අභිමුව ඔබ දිරිමත් කරන්නේ ඔවුන් ය. සතුන්ටද නොයෙක් සමාගම් ඇත. පොදුවේ සියලු ජීවින් උදෙසා බැ¼දීම් රැසකි. මිතුරුදම ඉන් ප්‍රභල වූවකි. ජීවිත ගමනේ මෙලොව මෙන් ම පරලොව සුගතිය උදෙසා මිතුරන්ගෙන් ලැබෙන දායකත්වය සුළුකොට තැකිය නොහැකි ය. බිතු සිතුවම් රූ මෙන් පිටු නොපෑ මිතුරන් හමුවීම භාග්‍යයකි. යහපත් මිතුරන් හමුවීමෙන් ඔබට සැපය ලැබිය හැකි ය.

සොඳුරු පවුලක අසිරිය

සොඳුරු සමාජයක් ගොඩනැඟීමට සොඳුරු පවුලක් ගොඩනැඟිය යුතුය. මහා සමාජයේ කුඩා ම ඒකකය වන කුටුම්භයෙහි සොඳුරුබව කෙසේ ගොඩනැඟිය යුතු ද ? පවුලේ සාමාජිකයන් එකිනෙකා නිතර, නිතර හමුවෙනවා නම්, පවුල තුළ ගරුත්වය, විශ්වසනීයත්වය වර්ධනය වෙයි. හමුවීම, සාකච්ජා කිරීම , ඇහුන්කම් දීම ,නිවසක තිබිය යුතු අත්‍යවශ්‍ය පරිසරයයි. ඉඳ හිට හෝ විදුලිය බිඳ වැටීමක් සිදු වූ විට එය කෙතරම් හොඳ ද?යන අදහස පැමිණෙන්නේ විදුලිය බිඳ වැටුණ සැනින් නිවසෙහි සියලු සාමාජිකයන් ආලින්දයට පැමිණෙන නිසයි.

පවුලේ සාමාජිකයන් වෙන වෙනම කාමරවල තනිවුණ ලෝකවල ජීවත් වෙයි.බැඳීම් දුරස් වන තරමට ඔවුන් හුදකලාවෙයි. “චිමිනි ලාම්පු” තිබුණ කාලයේ අඩුම වශයෙන් රාත්‍රියටවත් පවුලේ සියලු සාමාජිකයන් ඒකරාශී වෙමින් එකම මේසයක ආහාර ලබාගත් අවධියක් පැවති බව අපට අමතකයි. ලාම්පු එළියෙන් හෝ ගෙදර සියලු දෙනා පැදුරක වාඩිවෙමින් කෑම ගත් යුගය අපට අමතක ද?

අපායට නොයන්න පින්කම් කරන්න

“ලොවේ සියලු ම සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තෝ වෙති’යි යනුවෙන් කියමනක් ඇත. සියලු ම සත්ත්වයෝ පින් පව් මත වාසය කරති. පින් කරන්නෝ සුගතියෙහි ද පව් කරන්නෝ දුගතියෙහි ද උපත ලබති. සුගතිගාමී වන්නෝ දුලබ වන අතර අපායගාමී වන්නෝ බහුල වෙති.

අටමහා නරකය යනුවෙන් ප්‍රධාන අපාය අටක් තිබෙයි. මේ එකකට දාසය බැඟින් සියලු ම අපාය එකසිය තිස් හයක් තිබේ. තිරිසන්, පේත, අසුර ආදී අපාය මඟින් සිදු වන්නේ අයහපතක්ම යි. දුක් විඳින්න ම සිදු වෙයි. ඒ දුක උරුම වන්නේ සත්ත්වයන්ගේ කර්මයට අනුව සිදුවන විපාක මත යි. අවීචි මහා නරකයෙහි ඇත්තේ දරුණු ම දුක යි. පංචානන්තරීය පව් සහ මිසදිටුකමින් යුක්ත වූවෝ අවීචි මහා නරකයට පත් වෙති.


අත පය කපා දැමීම, උල තැබීම, ලෝ දිය පෙවීම, ගිනි ජාලා මධ්‍යයට ඇද දැමීම වැනි සියලුම දඬුවම් ඒ ඒ අකුසල කර්ම විපාකයට අනුරූපව ලබා දෙයි.
සත්ත්ව ඝාතන ආදී දරුණු පව් කළඅය සතර අපායෙන් එක් තැනකට වැටී අපමණ දුක් විඳිති. අපායේ ස්වභාවය දුක නම්, සැප ගැන සිතා, සුගතිය ගැන සිතා කල්පනාකාරීව දාන, ශීල, භාවනා ආදී පින්කම් සිදු කළ යුතු යි.
මුගලන් මහ රහතන් වහන්සේ ධර්ම දේශනා මඟින් අපායේ තතු පෙන්වා වදාළහ. අපායේ නිරි සතුන් සමඟ කතා කර විඳින දුකට හේතු වූ කර්මය කුමක්දැ’යි විමසා ඒ මඟින් මිනිසුන්ට ධර්ම දේශනා වදාළහ. උන් වහන්සේ දෙව් ලොවට වැඩම කර එහි ඇති සැප සම්පත් ද මිනිසුන්ට පැහැදිලි කළහ.

Saturday, November 18, 2017

සදාචාරයේ අඩිතාලම

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි බරණැස්නුවර අසූ කෝටියක් ධනය ඇති පවුලක සිටුපුත්‍රයෙක් විය. මහාධන සිටු පුත්‍ර යන නමින් ඔහු ප්‍රසිද්ධි විය. ධනය ඇති නිසා වෙනත් ඉගැන්වීම්වලින් මොහුට ප්‍රයෝජනයක් නැතයි සිතා මොහු පි‍්‍රයකරන සංගීතය හා වාදනය පමණක් ඉගැන්වීම ප්‍රමාණවත් යැයි සිතූ මවුපියෝ ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ. මේ සිටුපුත්‍රයා විවාහ වූ යේද අසූ කෝටියක් ධනය ඇති පවුලක සිටු දියණියක සමඟ ය.
ඇයට ද වෙනත් ඉගැන්වීම්වලින් ප්‍රයෝජනයක් නැතැයි සිතා නැටුම් හා ගැයුම් පමණක් ඉගැන්වූහ. මේ දෙපළගේ විවාහයෙන් ටික කලකට පසු දෙමව්පියෝ මරණයට පත්වූහ. මේ සිටු පුත්‍රයා දවසට තුන් වරක් රජුගේ වැඩවලට උදව්වීම සඳහා රාජමාලිගයට යයි. මොහු ගැන සෝදිසියෙන් සිටි මත්පැන් ලෝලීහු පිරිසක් මොහු මත්වතුර පානයට හුරු කරගත්තොත් තමන්ට ලොකු වාසියක් වන බව සිතා ඒ සඳහා ක්‍රමෝපායයන් යොදමින් මිත්‍රත්වයක් ඇතිකරගත්හ. මේ අනුව සෑම දා ම මත්පැන් පානයට හා සූදුවටත්, නැටුම් ගැයුම්වලටත් තම ධනය නාස්ති කරමින් තමා සතු මුළු ධනස්ඛන්ධයම විනාශ කර ගත්තේ ය. තම භාර්යාව සතු ධනයත්, ගෙවල් දොරවල් ඇතුළු සියලු සම්පත් විකුණා මහමගට බැස්සහ. ජීවත්වීම සඳහා ගෙයක් ගෙයක් පාසා සිඟමනේ යමින් ඉවත දමන ඉඳුල් බත් කමින් ජීවත් වන්නට සිදුවිය.

සදිසා වන්දනාව හා සහජීවනය

යහපත් ජීවිතයකට යහපත් සමාජ සම්බන්ධතා:

" යහපත් ජීවිත ගත කිරීමට නම් යහපත් වූ සමාජ සම්බන්ධතා අවශ්‍ය වේ. යහපත් සම්බන්ධතා ඇති කර ගැනීමට නම් තම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරමින් අනෙකාට අලාභ නොවන සේ පැවැතීම අවශ්‍ය ය. ඒ සඳහා සදිසාව පදනම් කරගත් යුතුකම් ඉතා වැදගත් වේ."
ඔවුනොවුන් කෙරෙහි යුතුකම් ඉටුකිරීම පිළිබඳ ඉගැන්වීම සදිසා වන්දනය යි. වන්දනයන් අතර හරවත් වැඳීම මෙය බව සිඟාලෝවාද සූත්‍රයේ දී සිඟාග ගෘහපති පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මිනිසා සමාජ සත්වයෙකි. අනෙක් මිනිසුන්ගෙන් හුදෙකලාව සිටිය නොහැකි ය. යහපත් ජීවිත ගත කිරීමට නම් යහපත් වූ සමාජ සම්බන්ධතා අවශ්‍ය වේ. යහපත් සම්බන්ධතා ඇති කර ගැනීමට නම් තම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරමින් අනෙකාට අලාභ නොවන සේ පැවැතීම අවශ්‍ය ය. ඒ සඳහා සදිසාව පදනම් කරගත් යුතුකම් ඉතා වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේ සදිසා වෙන්කර ඇත්තේ මෙලෙස ය.

නැගෙනහිර – මව්පියන්, දකුණ – ගුරුවරු, බටහිර – අඹුසැමි, උතුර – මිතුරෝ, යටදිසාව - සේවකයෝ, උඩ දිසාව - පැවිදි උතුමෝ යනුවෙනි.

අනවශ්‍ය විමසීම

බොහෝ සමාජ ප්‍රශ්නයන්ට මූලය තමන්ගේ කාර්ය ඉටු නොකොට අන්‍ය දෑ පිළිබඳ අනවශ්‍ය ලෙස සොයා බැලීමට යෑම ය. තමන්ට පැවරුණු කාර්ය නියමාකාරයෙන් ඉටු කරන්නේ නම් සමගිය සහජීවනය ආරක්ෂා වී අනවශ්‍ය ගැටුම් සිත් අමනාපකම් සිදු නොවේ. එය රටක්, ආයතනයක්, පවුලක් ලෙස යහපතකි. ජාති ආගම් භේදයකින් තොරව ඕනෑම සමාජයකට මෙම සදිසා වන්දනය යොදාගත හැකි වේ.