මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Wednesday, August 19, 2015
ජීවත්වීම යනු කුමක්ද?
අධ්‍යාපනය සඳහා හඹා යන තැනදී බොහෝ වැරදි කරන්නට නොහොඹිනා දේ කරන්නට ඒ වගේම නොයෙක් අවස්ථාවන්හිදී මුසා දොඩන්නට අනෙකා පරයා තමන් ඉදිරියට යන්නට අනෙකාට ඉදිරියට එන්නට තියන ඉඩ කඩ අහුරා දමන්නට මෙසේ නොයෙකුත් නොමනා කම් කරමින් මනුෂ්‍යකම පවා කෙලෙසන තැනට පත් වෙලා තියෙන්නේ අධ්‍යාපනය කුමක් සඳහාද කියන නිවැරැදි ආකල්පය මිනිසුන්ගෙන් ගිලිහී ගිහින් තියෙන නිසයි. මෙයින් අපි අදහස් කරන්නේ අධ්‍යාපනය අවශ්‍ය නැහැයි කියන එක නෙමෙයි, අධ්‍යාපනය අවශ්‍යයි. නමුත් එය කුමක් සඳහාද කියන නිවැරැදි ආකල්පය මත පිහිටා ගොඩ නගනවානම් මනුෂ්‍යකම් ඇති සත්පුරුෂයින් බිහිකරන්න ඒ අධ්‍යාපනය දායක කර ගන්නට පුළුවන්.
අවශ්‍යතා සහ හැඟීම්
අතීත කාලයේ විශේෂයෙන්ම මේ කාරණය නිවැරැදිව හඳුනා ගෙනයි දරුවන්ගෙ අධ්‍යාපන අවශ්‍යතා සපුරා දුන්නේ. ඒ වගේම මූලික අවශ්‍යතා පිළිබඳව නිවැරැදි ආකල්පය මොකක්ද කියන එක බොහෝ අවස්ථාවන්හිදී භික්ෂූන් වහන්සේලා විසින් පැහැදිලි කරලා දුන්නා. අතීතයේ ලංකාවේ අරියවංශ දේශනාව මාසයකට වතාවක් හෝ අඩමසකට වතාවක් රැය පහන් වනතුරැ දේශනා කළාය කියලා ඉතිහාසයෙ සඳහන් වෙනවා.
මේ අරියවංශ දේශනාව තුළ ගැබ්වෙලා තියෙන්නේ මිනිසෙකු සතු මූලික අවශ්‍යතා වන ආහාර නිවාස ඇඳුම් කියන මේවා කෙලෙස් නොවැඩෙන ආකාරයට කොහොමද පරිහරණය කරන්නේ යන්නයි. හැඟීම් වලට වහල් නොවී අවශ්‍යතාවය පිළිබඳව තේරුම් අරගෙන කොහොමද ඒවා පරිහරණය කරන්නේ කියලා ඒ දේශනාවෙන් පැහැදිලි කර දෙනවා. ආහාරපානාදිය නැතුව කෙනෙකුට ජීවත් වෙන්න බැහැ. ඒවා මනුෂ්‍ය අවශ්‍යතාවයන්.
නමුත් අද කාලේ බොහෝ දෙනා අවශ්‍යතාවය පරයා හැඟීම් වලට වහල් වෙලයි කටයුතු කරන්නේ කය පෝෂණය කරන්නට ආහාර ගත්තත් එතැනදී දැනෙන රසය පිළිබඳව බැඳිලා ඒ රස තෘෂ්ණාවට වහල් වෙන නිසා කයටත් අන්තරායකර වූ ජීවිතයටත් අන්තරාය කර වූ නීරෝගී කමටත් අන්තරායකර වූ තමන්ගේ වත් පොහොසත් කම් වලටත් සරිලන්නේ නැති ආකාරයේ ආහාර පාන රටාවකට අද මහජනයා හුරු පුරුදු වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ආහාරය පිළිබඳ නිවැරැදි ආකල්පය මත පිහිටා සිටින්නට බැරි වෙලා තියෙන්නේ ඒ ආහාරයෙන් තමන්ගේ මනසෙහි කෙලෙස් නොවැඩෙන ආකාරයට පරිහරණය කරන්න අවශ්‍ය දැනුම මිනිස් මනසින් ගිලිහිලා ගිහින් තියෙන නිසයි.
ඒ වගේම බාහිර ඇඳුම් පැලඳුම් නිවාසස්ථාන ආදි මේ හැම එකක්ම පරිහරණය කරද්දී අපි කොහොමද අපේ මනස කෙලෙසෙන්නේ නැතුව මේ සියල්ලක්ම පරිහරණය කරන්නේ. අන්න ඒ පිළිබඳවයි අරියවංශ දේශනාව තුළ ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ. මූලික අවශ්‍යතාවයන් පරිහරණය කරමින් කෙලෙස් වඩවා නොගෙන ටිකෙන් ටික කෙලෙස් අඩු කරගෙන භාවනාවට හෙවත් ගුණ දහම් දියුණුවට තමන්ගේ සිත් සතන් නැඹුරු කරන ආකාරය පියවර හතරක් ඔස්සේ අරියවංශ දේශනාවේ පැහැදිලි කරනවා. අද එබඳු දේශනා විටින් විට සමාජය තුළ ඇහෙන්නට තියනවා.
නමුත් මිනිසුන් එක්තරා සමාජමය ප්රවාහයකට හසුවෙලා ගසාගෙන යන නිසා, එහෙම නැත්නම් සමාජය විසින් තමන් පොළඹවන්නා වූ යම්කිසි ඉලක්කයක් හඹායන්නට වෙහෙසෙන නිසා තමන්ට තමන් දිහා ආපසු හැරිලා බලලා ආකල්පයන් නිවැරැදි කර ගන්නට තරම් ඉඩ කඩක් නැතිව ගිහින් තියනවා. ඒ නිසා අපි ටිකක් අවදියෙන් හිතන්නට ඕන, අපි ටිකක් නිසොල්මන්ව හිතන්නට ඕන අපි මේ කියන කරන දේවල් වලින් ඇත්තටම අපේ ජීවිතය තුළ නිවැරැදි ආකල්පයක් ගොඩ නැගෙනවද? අපට ජීවිතය කියලා කියන්නේ සාමාන්‍ය විදිහෙන් කාලා බීලා ඇඳලා සතුටු වෙලා විතරක් ගතකළ යුත්තක් නොවෙයි. එහෙම ගත කරනව නම් ඒක නිරශ්චීන ජීවිතයක්යෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
තිරිසන් / මිනිස් කඩඉම
සාමාන්‍යයෙන් තිරිසන් සතුන් සහ මිනිසුන් අතර බොහෝ සමාන කම් තියනවා. තිරිසන් සතෙක් මව්පියන්ට දාව උපදිනවා. මනුෂ්‍ය දරුවෙකුත් ඒ විදිහෙන් උපදිනවා. තිරිසන් සතෙක් කුඩා කාලයේ මව්පියන් ඇසුරේ පෝෂණය වෙනවා. මනුෂ්‍ය දරුවෙකුත් මව්පියන් ඇසුරේ කුඩා කාලයේ පෝෂණය වෙනවා. ලොකු මහත් වෙනකොට තිරිසන් සත්ත්වයෙක් තමන් ස්වෛරීව හොයා සපයාගෙන කාලා බීලා ජීවත් වෙනවා. මනුෂ්‍ය දරුවෙකුත් ලොකු මහත් වෙනකොට තමන් විසින් රැකියාවක් කරලා යමක් සොයා සපයාගෙන කාලා ජීවත් වෙනවා.
ඒ වගේම තරුණ වියට පත්වෙනකොට තිරිසන් සතෙක් තමන්ගේ වර්ගයා සමග මුසු වෙලා වර්ගයා ලෝකයට ජනිත කරනවා. මනුෂ්‍ය දරුවෙකුත් ලොකු මහත් වෙලා තරුණ වියට පත්වෙනකොට තමන්ට සුදුසු කෙනෙක් සමග ආවාහ විවාහ වෙලා තමන්ගේ පරම්පරාව ලෝකයට ජනිත කරනවා. තිරිසන් සත්ත්වයා සතුටු වෙන්නට යමක් ලැබුන තැන සතුටු වෙනවා. ඇලෙනවා. බැඳෙනවා. දුක් වෙන්නට කරුණක් පැමිණි තැන දුක් වෙනවා හඬා වැලපෙනවා. මෙසේ කලක් ගත වෙලා තමන්ගේ පරම්පරාව ලෝකයට ඉතිරි කරලා තමන් හුදෙකලාව මිය යනවා. සාමාන්‍ය මනුෂ්‍යයොත් සතුටු වෙන්නට කරුණු පැමිණි තැන දුක් වෙනවා හඬා වැලපෙනවා. මෙසේ කාලයක් ජීවත් වෙලා තමන්ගේ වර්ගයා ලෝකයට ඉතිරි කරලා අභාවයට යනවා.
මේ ටික විතරක් නම් ජීවිතයක සිද්ධ වෙන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මනුෂ්‍ය ජීවිතයක් නෙමෙයි – තිරස්චීන ජීවිතයක්. ඒ කුමක් නිසාද? තිරිසන් සත්ත්වයකු විසින් කරන්නාවූ කටයුතු ටික පමණයි. ඒ තැනැත්තා විසින් කරලා තියෙන්නේ. එහෙම නම් මනුෂ්‍යයාය කියන කෙනා තුළ ඊට වඩා යමක් තිබිය යුතුයි. උසස් වූ මනසක් තියන උසස්වූ ආකල්ප සම්පත්තියක් තියන උසස්වූ හැඟීම් සමුදායක් තියන යමක් නිවැරැදිව දකින්නට නිවැරදිව උපකල්පනය කරන්නට නිවැරැදිව වටහා ගන්නට හැකියාව තියන, හොඳ නරක හඳුනාගෙන නරක ඉවත් කර යහපත ක්‍රියාවෙහි යොදවන්නට පුළුවන් විදිහේ ශක්තිමත් මනසක් ඇති පුද්ගලයෙකුටයි මනුෂ්යයයා කියන්නේ. අන්න එයිනුයි තිරිසනා සහ මිනිසා වෙන් වෙන්නේ. පංච ශීල ප්‍රතිපදාව මේ කඩඉම වෙන් කරන මූලික පදනම හැටියටයි අතීතයේ පටන් මනුෂ්‍යයො පුරුදු පුහුණු කරලා තියෙන්නේ.
කුකුල්පනේ සුදස්සි හිමි
2014 ජූලි මස 23 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment